වතු කම්කරුවන්ගේ සෙමෙන් වැඩ නවතී - තේ කම්හල් යළි ඇරේ

2015-07-16 09:19:00       578
feature-top
දින 10 ක් පුරා තේ වතු කම්කරුවන් ආරම්භ කර තිබූ සෙමෙන් වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බව සඳහන්. තේ වතු කම්කරුවෙකුට දැනට ලැබෙන රුපියල් 485 ක දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් පසුගිය 6 වැනිදා ආරම්භ කළා. කෙසේ වෙතත් ඊයේ පැවති සාකච්ඡාවේදී දිනකට කඩන දළු ප්‍රමාණය අනුව වැටුප් වැඩි කිරීමට තීරණය කිරීමත් සමඟයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර ඇත්තේ. ලංකා කම්කරු කොංග්‍රසය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවූ අතර, අවස්ථා කිහිපයකදී  වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා පැවති අතර ඒවා විසඳුමකින් තොරව අවසන් වූයේ ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟතාව පළ නොවීම හේතුවෙන්.

වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීම හේතුවෙන් වතු සමාගම් 23 කට අයත් තේ කර්මාන්තශාලා 60 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට  වතු අධිකාරීවරුන් පියවර ගත්තා. ඒත් සමඟ වතු කම්කරුවන් තේ දළු නෙළීම වෙනුවට වතුවල වල් පැලෑටි සහ තණකොල ගැලවීම සිදුකළේ කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන්. කෙසේ වෙතත් සතියක් පුරා වසා දමා තිබූ කන්ද උඩරට තේ කර්මාන්තශාලා අද සිට යළි විවෘත කිරීමට  වතු අධිකාරීවරුන් තීරණය කර තිබෙනවා. දින 10 ක් පුරා පැවති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට රුපියල් මිලියන 120 ක පාඩුවක්ද සිදුවූ බවයි වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවූ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ.පී. ශක්තිවේල් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව යළි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

curtesy : hiru news


More News »