වල් භෝග අතුරින් ලද ආහාර භෝගවල සුලමුල සොයා උද්භිද විද්‍යාඥයෝ පර්යේෂණ අරඹති

2015-07-29 09:21:00       812
feature-top
අප සතුව ඇති දේ ගැන අප සිතන්නේ කලාතුරකිනි. එහෙත් අපට නැති දේ ගැන අපි නිතරම සිතමු

- ජර්මන් දාර්ශනික ආතර් ෂෝපන් හොවර්

වත්ත පිටියෙ වල් බිහි වෙලා. කිසි වැඩක් නෑ. නිකං ඉන්නවනං ඔය මිදුලෙ තියෙන වල් පැළ ටික උදුරලා දාන්න. එදා මෙදාතුර අපේ වැඩිහිටියන් පවසන මෙවැනි කියුම්වලින් වල් නමින් හැඳින්වෙන පැළෑටි මෙන් ම ශාක මිහිමත නො පැවැතිය යුතු දුටු තැන මුලින්ම උදුරා දැමිය යුතු විශේෂයන් ලෙසින් සලකා ඇති බවක් පෙනේ. සාමාන්‍ය ජනාව වල් විශේෂ ගැන එසේ සිතුවත්, උද්භීද විද්‍යාඥයින් නම් ඒ ගැන එහෙම සිතන්නේ නැත. ඔවුන් සිටින්නේ වල් බෝග ආරක්ෂා කළ යුතු ය කියන තැනය. ඔවුන් එහෙම කියන්නෙ ඇයි?

වල් වී - වල් අර්තාපල් - වල් ඉරිඟු

වල් බෝග යනුවෙන් උද්භීද විද්‍යාඥයින් හඳුනාගන්නේ නූතන සමයේ වගා කෙරෙන බොහෝමයක් බෝගවල මුල් පැවැත්ම වශයෙනි. මානව පරිණාමයේ එක් අවස්ථාවක් වූ දඩයම් යුගයේ දී කෘෂි වගාවක් තබා බෝග යැයි හඳුනා ගැනීමක්වත් තිබුණේ නැත. වනාන්තරයේ දී කෑමට සුදුසු යැයි හඳුනා කෑ දෙයක් හැරුණු කල එවැනි හඳුනා ගැනීම් දඩයම් මිනිසාට වැදගත් වුණේ ද නැත. පසුව ක්‍රමානුකූලව කෘෂි යුගයට පිවිසෙන මිනිසා ඉකුත් වනාන්තරගත ජීවිතයේ දී හඳුනාගත් ඒ බෝග සොයා ඒවා විශේෂයෙන් ම වවන්නට උත්සාහ ගෙන තිබේ. ඉන්දියානුවන් වල් - වී වැව්වේ ඒ ආකාරයට ය. අර්තාපල්, බත් මෙන් කන පේරු වැසියන් මුලින් ම වවා ගත්තේ වල් අර්තාපල් ය. මෙක්සිකානුවෝ ප්‍රාථමික කෘෂි යුගයේ දී වල් බඩ ඉරිඟු වැවූහ.

විෂම පාරිසරික අර්බුද හමුවේ

අපේ ආදිතමයන්ගේ මේ වල් බෝග (ඒවා වැඩුණේ විෂම පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙමිනි.) ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ කෘත්‍රිම ගෘහස්ථ ගොවිපළ පරිසරයකට යොමු කෙරිණි. සිය නිජබිම්වලට සීමා නොවී වෙනත් රටවල් සහ ප්‍රදේශ කරා ද ඒවා ව්‍යාප්ත කෙරුණි. ඒ අනුව වෙනත් රටවල ආගන්තුක දේශගුණික මෙන් ම භූගෝලීය තත්ත්වයන්ට අනුව ද පරිණාමය වීමක් මේ සම්බන්ධයෙන් දැකගත හැකි විය.

එසේ නව්‍ය තත්ත්වයන් යටතේ නව බෝග දර්ශක සංවර්ධනය වීම තුළ වනගතව වැඩුණු වල් බෝග ශිෂ්ටාචාරයෙන් ඉවත් වීමක් සිදු විය. ඒවා වනාන්තරවල ම හුදෙකලා විය. නමුත් උද්භීද විද්‍යා‍ඥයෝ මේ වල් බෝග නැවත හඳුනා ගැනීමේ උත්සාහයක අද යෙදී සිටිති. ඒවා සතුව පවත්නා නියං, දැඩි ශීත කාලයන්හි දේශගුණය, එමෙන් ම රෝග පලිබෝධ වසංගතවලට ඔරොත්තු දීමේ ශක්තිය මත සිය පැවැත්ම හොඳින් ආරක්ෂා කරගැනීමට සමත් ව ඇති අයුරු නිරීක්ෂණය කරන්නට පටන්ගෙන තිබේ. ඇතැම් නූතන බෝගවලට ඒ ආකාර වූ ඔරොත්තු දීමේ ශක්තියක් ලබාගැනීම සඳහා එකී වල් බෝග සමඟ මුහුන් කිරීමක් සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමට ද ඔව්හු කටයුතු කරමින් සිටිති.

සත්ත්ව පරිණාමය ගත් කල එක්තරා යුගයක මිහිතලය අත්පත් කරගෙන විසූ ඩයිනෝසර සතුන්ගේ වඳ වීමත් ඔවුන්ගෙන් ම පැවැත එන ඇතැම් උරග විශේෂ අද දක්වාම ඉතිරි වීමත් යන කරුණ අප හමුවේ පවතින ඇත්තකි.

එය නො සිදු විය යුත්තක් ලෙසින් විවේචනය කිරීමේ හැකියාවක් අපට නැත. ස්වාභාවික පරිණාමය තුළ සිදු විය යුත්තක් ලෙසින් එය සිදු ව තිබේ. එහෙත් අද වන විට විශේෂයෙන් ම තක්සේරු කරන ලද නූතන බෝග වගාවන්ට සමීප එසේ නැත්නම් ආසන්න වල් බෝග 60,000 කටත් වැඩි සංඛ්‍යාවක් මේ සියවසත් සමඟ ලෝකයට අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇතැයි උද්භීද විද්‍යාඥයෝ පෙන්වා දෙති. නමුත් එය ස්වාභාවික පරිණාමය මත සිදු විය යුත්තක් ලෙසින් සැලකිය හැකි තත්ත්වයක් නො වේ. එහෙම පිටින් ම මානව ක්‍රියාකාරකම් මත නිර්මාණය වූ තත්ත්වයක් වේ.

නූතන බෝගවලට ආසන්න වල් බෝග

මානව ශිෂ්ටාචාරය තුළ කෘෂිකර්මය, විද්‍යා තාක්ෂණය සමඟ ප්‍රති නිර්මාණය වීම සිදු වන්නේ දහනව වැනි සියවසත් සමඟය. ඒ අනුව අධික අස්වැන්නක් ලබා දෙන බෝග වර්ග නිෂ්පාදනය කෙරුණු අතර ඊට සාපේක්ෂව සාම්ප්‍රදායික කෘෂි බෝග සීමිත අස්වනු ලබා දෙන ඒවා වශයෙන් සලකා අවතක්සේරු කෙරිණි. නමුත් මේ නූතන බෝගවල අධික අස්වැන්න මුළුමනින් ම රඳා පැවැතුණේ ඒවාට යෙදිය යුතු රසායනික පෝර, කෘමි නාශක මත ය යන කාරණය සැම විටම යටපත් කෙරිණි. කෙසේ වුවද අවසානයේ දී බහු ජාතික සමාගම්වල කූඨ සැලසුම් හමුවේ එතෙක් ගොවියා විෂයයිකව ස්වයං පැවැත්මක් වශයෙන් පැවැති කෘෂිකර්මය ආර්ථික ඝාතනයකට ගොදුරු විය.

ස්වයං පැවැත්මේ කෘෂිකර්මය

වැඩිවන ජනගහනය, සීමාසහිත වන ඉඩම් පරිමාණය වැනි ප්‍රධාන පෙළේ ලෝක තත්ත්ව ඉදිරියට දමමින් සුළු බිම් ප්‍රමාණයක අධි අස්වනු සහිත කෘෂිකර්මය නොවැළැක්විය හැකි ලෙසින් තහවුරු කර ගැනීමට ඒ පසුබිමේ සිටින බහුජාතික සමාගම් අද වන විට සමත් ව ඇත. නමුත් ඉතා පැහැදිලිවම මෙහිදී අමතක නොකළ යුතු කරුණක් පෙන්වා දීමට උද්භීද විද්‍යාඥයෝ ඉදිරිපත් වී සිටිති. ඒ අධි අස්වැන්නක් ලබා දෙන බව යැයි පවසන මේ බෝග නිෂ්පාදනය කොට ඇත්තේ ඉතා සීමිත ප්‍රවේණි පදනමක් මත ය යන කාරණය යි. එයට හේතුව මේ බෝග අධි අස්වැන්න යන සාධකය මත පමණක් ම පිහිටා මේ මුහු කිරීම් සිදු කොට තිබීමයි.

අන් සියලු සාධක එතැනදී නොසලකා හැර තිබේ. එක්දාස් අටසිය හතළිස් පහේ දී අයර්ලන්තයේදී එරට අර්තාපල් වගාව විනාශයට පත්වීමේ හේතුව වශයෙන් උද්භීත විද්‍යාඥයන් හඳුනාගන්නේ ඉහතින් කී ආකාරයට සීමිත ප්‍රවේණියක් මත පිහිටා බෝග නිෂ්පාදනය කිරීම වේ. ඒ අනුව ඇතැම් තීරණාත්මක අවස්ථාවල දී සිය පැවැත්ම ආරක්ෂා කරගත නොහැකි තැනකට ඇදවැටෙන මේ නූතන බෝග අවසානයේ දී නොවැළැක්විය හැකි ලෙසින් එවැනි විනාශ වීම් වලට ගොදුරු වේ. ඒ අනුව වල් බෝග මෙන් ම සාම්ප්‍රදායික බෝගයන්හි ඇති පැවැත්මට අදාළ ඔරොත්තු දීමේ හැකියාව ගැන නූතන විද්‍යාඥයින් අද සිය අවධානය යොමු කිරීමට පටන් ගෙන තිබේ.

එසේ ඔරොත්තු දීමේ ශක්තිය වල් බෝග වෙතින් සොයා ගිය සෝවියට් විද්‍යාඥයින් සයිබීරියාවේ ඇති ශීත දේශගුණයට ඔරොත්තු දෙන සෝයා විශේෂයක් නිෂ්පාදනය කරන්නට කොරියාවේ වල් සෝයා විශේෂයක් යොදා ගෙන තිබේ. වී වගාවට වැල‍ඳෙන තෘණාකාර නමැති කුරුවීම නම් රෝගයට ඔරොත්තු දෙන වල් වී විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත්තේ තවත් එවැනි විශේෂ පහක් ද සමඟින් යැයි උද්භීත විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.

වල් බෝග විශේෂ තමන් වෙසෙන පරිසරයේ පලිබෝධ, රෝග ආසාදනවලට ඔරොත්තු දෙන්නේ ඒවා ස්වාභාවික පැවැත්මේ ම ප්‍රතිඵලයක් නිසාය. ඒ විතරක් නොවේ, ඇතැම් අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ සිය පෝෂණීය තත්ත්ව රැක ගනිමින් පවතින්නට ඒවාට ඇති හැකියාව ගැන ද නූතන විද්‍යාඥයින් සිය අවධානය යොමු කොට තිබේ.

සයිබීරියාවෙන් සෝයා වර්ගයක්

කෙසේ වෙතත් මෙතැන දී විද්‍යාඥයින් මුහුණපාන ගැටලුවක් ද තිබේ. ඒ තමන්ට අවශ්‍ය ශක්තිජනක ගුණාංග තමන් බලාපොරොත්තු වන අන්දමට වල් බෝග දර්ශක වෙතින් එකහෙළාම ලබා ගැනීමට ඇති නොහැකියාවයි. ඒ සමඟම තමන්ට අවශ්‍ය නොවන ගුණාංග ද ඒ හා බැඳී පැවැතීමයි. මෙය ගැටලුකාරී මෙන්ම ව්‍යාකූල තත්ත්වයකි. අනවශ්‍ය ගුණාංග නැති කළ හැක්කේ මුහුම් කිරීමෙනි. එහෙත් එය ද තමන්ට අවශ්‍ය කාලය තුළ කරගත හැක්කක් නොවේ.

ඒ සඳහා කාලයක් ගත වේ. අනිත් අතට ඒ වර්ණ දේහ ගත් කල ද සංඛ්‍යාත්මකව එහි ගුණාකාර පැවැත්මේ සමානත්වයක් නැත. විසම ය. එමෙන් ම වල් බෝග දර්ශකවල ජීවන චක්‍රය දිග ය. එක්රැස් වීමේ ගුණයෙන් ද දුර්වල ය. නූතන විද්‍යාඥයින්ගේ දැනුම් පරාසයට අයත් වන අභිජනන ක්‍රියාවලිය ඉදිරියේ අර කී තත්ත්ව පැහැදිලි අභියෝග බවට පත් ව තිබේ. කෙසේ වුව මේ තත්ත්ව නව ජෛව තාක්ෂණ ක්‍රියාකාරිත්ව හරහා නිරවුල් කරගන්නා තත්ත්වයක් ද මේ වන විට නිර්මාණය වෙමින් තිබේ.

කෙසේ වෙතත් වල් බෝගයන්හි සඵල දායකත්වය හඳුනාගෙන නූතන අඩුපාඩු මඟ හරවා ගැනීමට කටයුතු කරන අවස්ථාවේදී ඒවායේ නිජබිම් වූ වනාන්තර විනාශයට පත් කරමින්, ජනාවාස ව්‍යාප්ත වීම බරපතළ අර්බුදයක් වේ. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ දී සංහාරයට ලක් වූ නිල්ගල වනාන්තරය ඖෂධීය වටිනාකම් සහිත ශාකයන්හි වල් දර්ශ සහිත එකකි.

අපේ රටේ සංස්කෘතික වටිනාකම් අතර බෝග යනු විශේෂ තැනක පිහිටන්නකි. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් ලෝක උත්පත්ති කතා අනුව බීජ ඇති වීමේ විවිධ අවස්ථා හඳුනාගත හැකි බවත්, ස්වයංජාත රත්හැල් නම් වී වර්ගය ගැන මෙහි දී කිව යුතුව ඇති බවත් සඳහන් කරන මතුගම සෙනෙවිරුවන් එය ඉබේ හට ගත්තක් වන අතර එමඟින් වත්මන් වී පරම්පරාව ඇති විණැ'යි ජනප්‍රවාදයන්හි සඳහන් ය යනුවෙන් ද ලියා තිබේ.

අපේ පොළොවට ආවේණික වර්ග අතර ඇල් වී ප්‍රධාන යැයි කියති. පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ගොවිතැන් අතර හේන ප්‍රමුඛ බැවින් ඇල් හේන්වලට වෙසෙසි තැනක් ලැබෙන්නට ඇත. පින්න ඇල්, ගං තුඩ ඇල්, ජොලැල්, කිරිබරු ඇල් ආදි වර්ග එක් එක් පළාත්වලට ආවේණික යයි සිතමි. සබරගමුව, උතුරුමැද හා දකුණු ප්‍රදේශයන්හි පරිසරයට අනන්‍ය වන පරිදි මේවා හැදී වැඩී තිබුණේ යැයි සිතේ. පරිණාමයත් සමඟ විවිධ ප්‍රභේද උත්පාදනය වීම නිසා ජෛව විවිධත්වය ඇති විය. පසු කාලයක දී හේන් ගොවිතැනෙන් කුඹුරු ගොවිතැනට සංක්‍රමණය වීමේ දී ඇල් වී වර්ග තව තවත් පරිණාමයට භාජනය වී මඩට ගැළපෙන ලෙසට සකස් විය. උදාහරණයක් වශයෙන් සුවඳ ඇල් ප්‍රභේදය ගත් විට එය ඇල් වර්ගයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එහෙත් පසු කලක දී එය මඩේ වගා කරන්නට වීම නිසා ඒ පරිසරයට ආවේණික ලෙසට සකස් වීම සිදු වී ඇත. ගෝනබරු ඇල් ද එසේ ම ය.

සදාහරිත පරිසර කතිකාවතට ලියමින් මතුගම සෙනෙවිරුවන් ඉහත වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙරට සාම්ප්‍රදායික වී ප්‍රභේද කිහිපයක් නූතන අවශ්‍යතාවන්ට අනුව පරිණාමය වූ ආකාරය යි. ඒ අනුව එය අප මුලින් කතා කළ වල් බෝග දර්ශ පිළිබඳ ප්‍රවෘත්තිය සමඟ ඍජුව ගැට ගැසෙන්නක් නොවේ. එහෙම වුණත් ඒ සාම්ප්‍රදායික වී ප්‍රභේදවල අඩංගු ශක්තීන් ඒ ආකාරයෙන් ම අපට ලබා දීමට නූතනයේ ඇති අධි අස්වනු සහිත වාණිජ වී ප්‍රභේදවලට හැකි වී ඇද්දැයි කල්පනා කිරීම වටී. එසේ ගත් කල මේ ප්‍රවෘත්තිය කොයි ආකාරයෙන්වත් මෙතැනට නො ගැළපෙන්නක් ය කියා ඉවතට දැමීමට පුළුවන්කමක් නැත. අප අධ්‍යයනය කළ යුතු අතීත වටිනාකමක් එතැන තිබේ.

මේ තත්ත්වය නූතන ඛේදවාචකයකි. එහි දැවැන්ත මුලක් වශයෙන් හරිත විප්ලවය අදටත් වලංගුය. පරිසරවේදී බන්දුල රුක්ෂාන් බැබරන්ද එය මෙසේ විස්තර කරයි.

හරිත විප්ලවයක් සොයා යෑම

හරිත විප්ලවයත් සමඟ 1940 දශකය තුළ මැක්සිකෝව, බොර්ලොග් නම් වැඩි දියුණු කළ තිරිගු බීජ විශේෂය යොදාගෙන වගාව ආරම්භ කළේ ඒ වෙනුවෙන් කෘත්‍රීම යෙදවුම් ද ගනිමිනි. 1960 දශකය අවසන් වන විට එරට වගා බිම්වලින් සියයට 95 ක වැඩි දියුණු කළ නව තිරිඟු බීජ වගා කොට තිබුණු අතර අස්වැන්න තුන් ගුණයකින් ඉහළ ගොස් තිබිණි. ඒත් සමඟම ආසියාතික රටවල් ද තම අස්වැන්න වැඩි කර ගැනීම සම්බන්ධයෙන් හරිත විප්ලවය මිහිරි බලාපොරොත්තුවක් කරගත්තේය.

එසේ කටයුතු කොට දශක දෙකක් යාමටත් පෙර සිය ධාන්‍ය අස්වැන්න සියයට දෙසියයකින් ඉහළ දමා ගැනීමට ඉහත කී සංවර්ධනය වන රටවලට හැකි වුණි. කෙසේ වෙතත් මේ අසිරිය මේ ආකාරයෙන් නිර්මාණය කර ගැනීමට පළිබෝධ නාශක සහ පෝර භාවිතය සියයට තුන්සියයකින් ඉහළ දැමීමට සිදු විය. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් රසායනික යෙදවුම් සියයට පන්සියයකින් ඉහළ දැමුණ ද අර මුලින් කී අස්වැන්න ලබා ගැනීමට ඒ රටවල් අසමත් ව තිබේ. අස්වැන්නේ අව වර්ධනයක් දැකගත හැකි විය. එහෙත් යෙදවුම් වැඩි වර්ධනයකින් යොදන්නට සිදු විය. ඉතා පැහැදිලිවම ගොවීන්ට සිය ලාබය අහිමි විය. අදාළ සමාගම් සිය ලාබය දිනෙන් දින වැඩි කරගෙන තිබිණි.

පරිසරවේදිනී රැචල් කාසන් 1962 වසරේ දී නිහඬ වසන්තය (Silent Spring) නමින් කෘතියක් ලියා පළ කළාය. එහි මෙසේ එයි.

සියොතුන්, සමනලුන් කොහි ගොස් ද?... ගෙවතු, බඩවැටි පාළු ය. නිහඬ ය. ඉඳහිට කුරුල්ලෙකු දෙන්නෙකු දැකිය හැකි විය. උන් දුර්වල බැව් පෙනිණි. මරණය එන තුරු හකුළාගත් පියාපත් ඇතිව ඔව්හු හිස් බැල්මෙන් බලා සිටියහ. තුරු මුදුන් මත, බිම් කැදලි තුළ කුරුලු බිජු පුපුරා කිචි බිචි නද පතුරා කුරුලු පැටවු එළියට නො ආහ. වන මල්, පැළෑටි අතුරුදහන්ව ගොසිනි. බිඟුන්ගේ නද සමනලුන්ගේ වර්ණය අතුරුදහන් ය. මසුන් දියෙහි ගිලිණි වටහාගත නොහැකි විස්මයකින් මිටියාවත වැසිණි.... දුෂ්ට සාපයකින් මිටියාවත වැසුණාක් වැන්න.

ලෝකයට ආපසු හැරීමට සිදුව ඇත. වල්බෝග දර්ශක අපට කියන්නේ ඒ කතාව යි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »