ගෙවතු වගාව

2017-09-22 10:10:00       87
feature-top
ශ්‍රී ලංකාවේ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව කවුරුත් දන්නා කරුණකි. මේ ඉහමොළ දවන ප්‍රශ්නය ගැන බොහෝ දෙනා කලකිරීමෙන් කතා කළත් ඊට විසඳුමක් සොයන්නට ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනා කරන්නේ රජයට දොස් තබමින් හා දේශ ගුණයට සාප කරමින් කරපිංචා ඉත්ත පවා මුදලට ගැනීමය.

තමා ආහාරයට ගන්නා දේ වගා කර ගන්නැයි වගකිව යුත්තන් කියද්දී ඇතැමුන් අසන්නේ වවන්න හැමෝටම ඉඩම් තියෙනවාද? කුලියට ඉන්න මිනිස්සු වවන්නේ අහසෙද? වැනි ප්‍රශ්නයි. මේ සියලු ප්‍රශ්නවලට කදිම පිලිතුරක් ලබා දෙමින් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා විසින් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි තම තෙමහල් නිවසේ කොන්ක්‍රීට් වහල මත ආදර්ශමත් ගෙවතු වගාවක් සරුවට පවත්වාගෙන යනු ලැබේ. ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි මේ.

* ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවේ සභාපතිවරයා. කාර්ය බහුල පුද්ගලයෙක්. එහෙත් මේ කාර්යබහුලත්වය අතරේ වුවත් මෙවැනි අලංකාර වගාවක් සිදුකිරීම සඳහා කාලය වෙන්කර ගන්නේ කෙසේද?
ඇත්තටම විශේෂ වෙලාවක් නැහැ. විවේකය තියෙන වෙලාවට ගෙවතු වගා කටයුතුවල නියැලෙනවා. මම ගෙදර ඉන්න වෙලාවට හැන්දෑවරුවේ පැයක් විතර ගතකරනවා. කළයුතු දේවල් පිළිබඳ වැඩ කරන අයට උපදෙස් දෙනවා. උදේ පාන්දර 5.30 ට 6 ට විතර ඇවිල්ලා වැඩ කරනවා. අපි දවල්ට ගෙදර නැහැ. දැන් මේ ගෙවතු වගාව සාමාන්‍ය දෙයක් වෙලා. ගෙදර කට්ටියත් දන්නවා මොනවද කරන්න ඕනෑ කියලා. අඩුපාඩු සකස් කරනවා.

* මේ පාත්තිවල කොපමණ එළවළු, පලතුරු ප්‍රමාණයක් වගා කරල තියෙනවාද?
මේ පොඩි ඉඩ ප්‍රමාණය තුළ එළවළු වර්ග 40 කට වැඩිය වගා කරලා තියෙනවා. පලතුරු වර්ග 15 ට වඩා තියෙනවා. ඒ වගේම බෙහෙත් පැළෑටි ද 15 ට වඩා තියෙනවා.

කාලෙන් කාලෙට එළවළු වර්ග අඩු වැඩි වෙනවා. උඩරට පහතරට මෙන්ම යාපනයේ එළවළුත් වගා කරලා තියෙනවා.

* ඔබ ඩ්‍රැගන් පෘට් වගාව සාර්ථකව සිදුකරලා තියෙනවා. ඒක කළේ කොහොමද?
කොන්ක්‍රීට් කණුවක් ආධාරයෙන් තමයි මේ වගාව සිදු කළේ. කණුව වටේ රතුපාට, සුදුපාට, රෝස පාට කියන ඩ්‍රැගන් පෲට් වර්ග තුනම වගා කළා. දැන් වගා කරලා මාස 08 ක් විතර වෙනවා. මුලදී ගෙඩියක් ආවා. ඒක වැටුණා. ඒක සාමාන්‍යයි. ඊළඟට කිලෝග්‍රෑම් 10 – 35 ත් අතර ගෙඩි එනවා. මේ සියලු වගාවලට දාලා තියෙන්නේ කාබනික පොහොරයි. මේක වස විසෙන් තොර වගාවක්.

* මේ එළවළු පලතුරු ගෙදර පරිභෝජනය සඳහා ගන්නවාද?
ඔව්, ගෙදර පරිභෝජනයට ගන්නවා. නමුත් මේ ඵලදාව වැඩියි. අපි ගෙදර ඉන්න සේවක සේවිකාවන්ටත් දෙනවා. ළඟ අසල්වැසියන්ටත් දෙනවා. කවුරු හරි ගෙදරට ආවොත් ඒ අයටත් දෙනවා.

* මේ වගාව සඳහා ඔබට සහායට ඉන්නේ කවුරුන්ද?
මට උදව් කරන්නේ මගේ සේවකයෙක්. රූපවාහිනියේ “රිවිදින අරුණැල්ල” වැඩසටහන කරන උදය සිල්වා මහතා තවත් දෙතුන් දෙනෙක් සමඟ ඇවිල්ලා අපට උපදෙස් දෙනවා. ඒ වගේම අලුත් බීජ වර්ග, පැළ වර්ග දෙනවා. මෙහි ඉඩකඩ සීමිතයි. ඉස්සර පෝච්චිවල පැළ දැම්මා. දැන් පෝච්චිවල දාන්නේ නැහැ. දැන් පැළ කරන්නේ ගන්නෝරුවෙන් ලැබුණු තාර බැරල් භාගවලයි. අනික කිලෝග්‍රෑම් 5, 10, 25 හාල් බෑග්වල ඇතුළට පත්තර දාලා පැළ වගා කරනවා.

බණ්ඩක්කා ගහකට කිලෝ පහේ හාල් බෑග් එකක් හරියටම ගැළපෙනවා. මේ වගාව තියෙන්නේ කොන්ක්‍රීට් එක උඩ හින්දා වැඩිය බර දෙන්න බැහැ. ඒ නිසා පෝච්චි අයින් කරලා බෑග්වල පැළ කරනවා. ඒවායේ මුල් දුවන්න ලේසියි. ඒ වගේම පෝර ටික එළියට යන්නෙත් නැහැ. ගෙවල්වල වීසිකරන කොකාකෝලා, ෆැන්ටා, සෝඩා ආදී ප්ලාස්ටික් බෝතල් දෙකට කපලා ස්වභාවික විදියට කෘමියන් අල්ලන උගුල් සකස් කරලා තියෙනවා. ඇත්තටම අපි කෘමිනාශක භාවිතා කරන්නෙත් නැහැ.

මහවැලියෙ කුඩා සීගිරිය ප්‍රදේශයේ තියෙන මගේ වත්තටත් මේ ක්‍රමය හඳුන්වා දුන්නා. පලතුරුවලට හානි කරන මැස්සො ගොඩක් ඉන්නවා.

උන් මේ වගාව තියෙන තුන්වැනි මාලයේ වහලයටත් එනවා. විශේෂයෙන් ගස්ලබුවලට කෘමියන් එනවා. කොම්පොස්ට් පොහොර හදන හැටි රිවිදින අරුණැල්ල වැඩසටහනෙන් කියලා දුන්නා. ඒක හරිම ප්‍රයෝජනවත්.

* බැංකුකරුවකුගේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්නද ඔබ මේ වගාවේ යෙදෙන්නේ? ඇත්තටම මේ ඔබේ විනෝදාංශය ද?
ඇත්තටම ඔව්; මේ මගේ විනෝදාංශයයි. අස්වැන්න පිරෙන්න ලැබෙනකොට මට හරි සතුටුයි. කවුරු හරි ආවොත් එළවළු බන්දේසියක් හදලා දෙනවා.

ඒක හරිම සතුටක්. මේ වගාවට කුරුලු වර්ග හතරක් පහක් එනවා. ලේන්නු එනවා. කපුටොත් එනවා. අපේ ගෙවත්තට සමනල්ලුත් එනවා.

අපි වැඩ කරන්නේ නිතරම ඔළුවේ ප්‍රශ්න තියාගෙනයි. නමුත් මේ වගේ දෙයකට සිත යොමු කිරීම සහනයක්; සතුටක් ගෙන දෙනවා. මෙතැනදී මට හිතෙන්නේ කුරුල්ලන්ගෙන්, ලේනුන්ගෙන් වගාව බේරාගන්නේ කොහොමද? වැඩි අස්වැන්නක් ගන්නේ කොහොමද කියලයි. ඒක බැංකුවේ වැඩට වඩා හිතට සැහැල්ලුවක්.

* මහල් නිවාසවල වගාවකට ඉඩකඩ නැහැ කියලා එහි නිවැසියෝ මැසිවිලි නඟනවා. නමුත් ඔබේ වගාව ඒ ප්‍රශ්නවලට හොඳ පිළිතුරක් නේද?
මහල් නිවාසවල හැමෝටම තියෙනවා බැල්කනියක්. මේ කොටසේ පෝච්චියක හෝ හාල් බෑග් එකක බණ්ඩක්කා, තක්කාලි වැනි එළවළු වගා කරන්න පුළුවන්. වස විසෙන් තොර මේ එළවළු ගෙදර පරිභෝජනයට ගන්න පුළුවන්. එළියේ මිලත් වැඩියි. ඒ නිසා මෙහෙම වගා කරන එක තමන්ගේ පර්ස් එකටත් වාසියක්.

ගෙදර උද්ධමනයත් අඩු වෙනවා. එළියෙන් ගේන්න ඕනෑ හාල්, කිරි, මාළු විතරයි. කොළඹින් පිට නම් ගවයෙක් ඇතිකරන එක හොඳයි. කිරි ගන්නත් පුළුවන්.

ගොම, මුත්‍රා බයෝ ගෑස් හදන්න කොම්පෝස්ට් පොහොර හදන්න ගන්න පුළුවන්. යුරෝපයේ සමහර රටවල් තියෙනවා සම්පූර්ණයෙන්ම වගාකරන්නේ කොම්පෝස්ට් පොහොරවලින් විතරයි. නුවරඑළියේ සමහර තේ වතුවලත් කාබනික පොහොර දාලා තේ වගා කරනවා. ඒවා “ඕගනික් ටී” කියලා විකුණනවා. වැඩි මුදලක් ලැබෙනවා.

පසුගියදා ජනාධිපතිතුමා බිලියන 50 ක් දුන්නා වී ගොවියාට රසායනික පොහොර ගේන්න. වී ගොවිතැනත් කාබනික පොහොරෙන් කළා නම් අපේ සල්ලි පිටරට යන එක නවතිනවා. අපි දන්න හිතවත් ඇමැතිවරයෙක්ගේ අක්කර 7 ක කුඹුරක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වගා කරන්නේ කාබනික පොහොර දාලයි.

රසායනික පොහොර දැම්මම පසේ ඉන්න ගැඩවිල් පණුවො මැරෙනවා. කොම්පෝස්ට් පොහොර දානකොට හොඳට පණුවෝ හැදෙනවා. කාබනික පොහොර යොදලා කරන වගාවල ඵලදායිතාවය ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. වස විස සහිත ආහාරයි වස විසෙන් තොර ආහාරයි අතර ලොකු වෙනසක් තියෙනවා.

මේ ගැන අපේ පාසල් දරුවන් දැනුවත් කළ යුතුයි. කෘමිනාශක වර්ග, ජලය සහ ආහාර මගින් ශරීරයට ඇතුල් වුණාම ඉක්මනින් ලෙඩ වෙනවා. ඒකෙ බරත් රටටයි. මොකද අපි සෞඛ්‍ය සේවාව දෙන්නේ නොමිලේ. පිටරටින් බෙහෙත් ආනයනය කරන්න වෙනවා. පරිසරය අවුල් වුණොත් අපි කාටත් ජීවත්වෙන්න අමාරුයි.

dinamina.lk


More News »