"වැව්වොත් සපල වේ කැපුවොත් අපල වේ"

2017-10-02 11:16:00       58
feature-top
"ඉන්දියාවේ පැට්නා ප්‍රදේශවාසීහු මිනිසා හා ගස වෙන් කළ නොහැකි ආත්මයක් ලෙස සලකති. ගසට ද ප්‍රාණයක් ඇත. පොරවක් රැගෙන ගස කපන්නට යන විට ගස අඬන බව පැරැන්නෝ කියති. එබැවින් ගස් ජාවාරම්කරුවන් මියයන විට නොයෙකුත් රෝගයන්ට පාත්‍ර වී දුඛ්‍යභාවයට පත්වේ. සමහරක් ගස් කැපීමේදී අත් පා කැඩීම්, මියයැම් සිදු වේ. සමහර වෘක්ෂයන් රටට, රජුන්ට වැසියන්ට යම් ආපදාවක් වන්නේ නම් එයට අනාවැකි කියන්නාක් මෙන් පෙන්වීමේ බලයක් ද ඇත. භාරතයේ විසූ ජගදින් චන‍ද්‍රබෝස් වැනි උගතුන් සියුම් ස්පන්දනයන් දැනෙන පොළාග්‍රාප් නම් උපකරණයෙන් සිතුවිලි තරංග හැගීම් ශාක සෙසලවලට ජනනය වන ආකාරය සොයාගෙන ඇත. අපේ පැරැන්නන් ද කටහඬෙහි ඇති තරංග මගින් ගස්වල පලදාව වැඩිවන බව දැන සිටියේය. ජගදින් චන‍ද්‍රබෝස් මිනිසුන් තුළ ඇති භය ආදරය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී හැගීම් තුරුලතාවලට ඇති බව සොයා ගත්තේය. අපි කතාකරන වචනවල ඇති හොඳ නරක අනුව සමහර ශාක ප්‍රතික්‍රියා දක්වයි. මිහිරි වදන් ශ්‍රවණය වන විට අතු අප දෙසට නැමී එයි. අප්‍රිය අමිහිරි පරුෂ වචන කියන විට පිටතට නැමීමක් ඇති වේ. සමහර ඒවා මලින් පලයන්ගෙන් ගහනය වන බවත්, සමහරක් මැරී යන බවත් හෙළිකරගෙන ඇත. ගසට ආදරයෙන් කරුණාවෙන් පොහොර හා ජලයෙන් සත්කාර කරන විට ගහ තමාට ආදරයෙන් ප්‍රතිචාර දක්වයි. සමහර වෘක්ෂයන් යකුන්ගේ, මියගිය ප්‍රේත භූතයන්ගේ විමාන ලෙස ද නාගයන්, සර්පයන්ගේ වාසස්ථාන ලෙස ද, සමහරක් දෙවිවරුන්ගේ භවන් ලෙස ද අරක් ගෙන ඇති බවට පැරැන්නන්ගේ විශ්වාසයක් තිබිණි. එවැනි ගසක් කපා එයින් ලිප දවා අළු බවට පත්වන අළු නිවසක රැඳී ඇත්නම් එය සොහොන් අළුවලටත් වඩා ප්‍රබල බව පැරැණි පොත පත පෙන්වයි. නිවැසියන්ගේ ආදායම් මාර්ග වැසී දිළිඳු බවටත්, රෝග පීඩා හා අකල් මරණවලට ගොදුරු වීමත් සිදු වන බව කියා ඇත. මත්ශ්‍ය පුරාණය, අග්නි පුරාණය, පද්ම පුරාණය ආදී ග්‍රන්ථවල ඇති තොරතුරු අනුව ගස් වැවීම මහා ආනිශංසයක් පිනක් යෑයි කියෑවේ. වරහ පුරාණයේ දැක්වෙන පරිදි අපායෙන් බේරීමට සිටුවිය යුතු ගස් මෙසේය. බෝ, කොස්, නුග, දැසමන්, දෙළුම්, අඹ ආදී ගස් ය. මහ මග යන අයගේ යහපත උදෙසා ගස් සිටුවීම රජුගේ හා රජයේ යුතුකමක් ලෙස පැරැන්නෝ සැලකූහ. අශෝක අධිරාජයා පවා ඒ පිළිවෙත රැකී වග ඔහුගේ සෙල්ලිපියෙන් පැහැදිලි වේ. එහි සඳහන්ව ඇත්තේ මිනිසාට හා සතුනට ප්‍රයෝජනවත් වනු පිණිස මාර්ගාසන්නයෙහි නුග ගස් මා විසින් වවනු ලැබීය. සෑම අස් දුරකම මම අඹ ගස් සිටුවීමි. ගස් සිටුවීමෙන් අත්වන ප්‍රතිඵල අග්නි පුරාණයේ මෙසේ සඳහන් වේ. අනුන්ට පිහිට වීම සඳහා පලින්, මලින් පිරි ගස් වැල් හැදීමෙන් මතු භවයේ මිනිසා දෙව්ලොව සැප විඳියි. ගෙඩි, මල්, සිහිල් සෙවන දෙන ගස් තිහක් වැවීමෙන් මිනිසකු නිරයට යැමෙන් බේරී දෙවි, ගදඹ, අසුර, කින්නර, නාග, සිව්පා, මිනිස් ආදී සියලුම සත්ත්වයෝ ඉන් උතුම් වෙති. සුරයෝ පුෂ්පයන්ගෙන්ද, පෘථග්ජනයා ඵලයෙන්ද, පශු, පක්ෂී මනුෂ්‍යයෝ සෙවණෙන් ද පල ගනී. සුවඳ මලින් හා රසවත් පලින් බර ගස් වවන්වා සුරලොව සැප සම්පත් ලබන්නකු බවත් ය. පද්ම පුරාණය විවිධ ගස් වැවීමෙන් අත්වන පලයන් මෙසේ පෙන්වා ඇත. බෝ රුකක් රෝපණය කළොත් සම්පත් දියුණු වෙයි. දිඹුල් ගස් සිටුවීමෙන් යාග හෝම කිරීමෙන් ලත් පිනට සම වෙයි. කොහොඹ ගස් සිටුවීමෙන් දීර්ඝායුෂ ද මහ මග දෙපස දම් ගස් සිටෙව්වොත් දෙව්ලොව සැපද, දෙළුම් වැවීමෙන් සැපවත් ජීවිතයක් ද, කෑලෑ ගසින් ආරක්ෂාවද, වරා ගසින් සූර්ය දෙව්ලොව ඉපදීම ද, ඛෙලි ගස් සිටුවීමෙන් ශිව ලෝකයේ ඉපදීමද, පලොල් ගස් සිටුවීමෙන් ගිරිදුවගේ දෙව්ලොව ඉපදීමද, ඇට්ටේරියා වැවීමෙන් දෙවගනන් වීමද, ලැබීමද, මූණමල් ගස වැවීමෙන් වැඩකරුවන් ලැබීමද, තල් ගස වැවීමෙන් දරුවන්ගේ විනාශයද, පොල් වැවීමෙන් බහු භාර්යා සේවනයට ඉඩ ලැඛෙන බවද, මිදි වැවීමෙන් සියලු සම්පත් ලැඛෙන බව ද වැටකේ වැවීමෙන් විනාශය ද ඇතිවන බව දේව පුරාණයෙහි විස්තර කර ඇත. සියඹලා ගස් කැපීමෙන් රජුගේද, ගෘහාධිපතිගේ විනාශයද, චෛත්‍ය සුසානය, විහාර ග්‍රාම දේවාල ඉඩම්වල ගස් වැල් ආදිය කැපීමෙන් දුර්භික්ෂය, දේපොළ, ධනය විනාශ වීම, දරුණු රෝගාබාධයන්ට ගොදුරුවීම, මන්ද බුද්ධික දරුවන් බිහිවීම, අකල් මරණයන්ට බිලිවීම සිදුවන බව සඳහන් වේ. අග්නි පුරාණයේ මෙසේ සඳහන් වේ. ගස්වැල්වලට අරක්ගත් දෙවිවරු සිටින බවත්, වැඳුම් පිදුම් කිරීමෙන් තම පරමාර්ථයන් ඉටුවන බවත් කියා ඇත. දරුවන් නැති අම්මාවරු ගස් වැල් රෝපණය කර ඒවාට සාත්තු සප්පායම් කර පෝෂණය කිරීමෙන් මතු ආත්ම භවයේදී දරුඵල ලබා ගැනීමට හේතුවන බව පැරැණි සෘසිවරු සඳහන් කොට ඇත. මේ එවන් ගීයක් වර්ග පුරාණයෙන්, අස් වෘක්ෂ මේකං පුම්මන්ද මේකං න්‍යෙග්‍රෝධ මේකං, දස පුෂ්ප රාශිංදේව දේව තථා දාසිම මාතුලාංගේ පක‍ඳ්වාමුරෝපි නරකං නයානතී යමකු බෝ ගසක්, නුග ගසක්, කොස් ගසක්, දැ සමන් ගස් දහයක්, දෙළුම් ගස් දෙකක්, අඹගස් පහක් රෝපණය කෙරේජ්නම් ඔහු නරකාදියට නොයති. ඔහු යහපත් උපතක් ලබයි. ගස් වැල් රෝපණය කිරීම සදාකාලික පිං වැඩෙන මහගු පිංකමක් බව අපේ බුදුරජාණන් වහන්සේ වනරෝප සූත්‍රයෙන් දේශනා කොට ඇත. එබැවින් ගස් වැල් රෝපණය නොකර හදා ඇති ගස් හොරෙන් කපා මුදල් තෙගුණ කිරීමේ අදහසින් උපයන කැලෑ පාළුවන්ට නම් මේ පාපයෙන් ගොඩවීමට සසරින් සසරටම බැරිය. එවන් දැව හොරුන්, මුදලාලිලා අංශභාග රෝගීන් වී, කොරවීම්, කට ඇදවීම්, ගොත ගැසීම්, ගොළු, බිහිරි, අන්ද උන්මත්තකයන් වීම, සුව නොවන දද, කුෂ්ඨ, පරංගි වන තුවාල, බගංදරා, දියවැඩියා, පිළිකා ආදී රෝගයන්ට ලක්ව ඔත්පල වී කලකදී සී මැඳුරු මහල් මන්දිරයෙන් බිමට ඇද වැටෙන්නේ එතුවක් හරි හම්බ කළ ධනය ගසේ දර පිළිස්සී අළු බවට පත් වන්නා ලෙසින් අන්ත අසරණ භාවයට පත්ව මෙලොවදීම අපා දුක් විඳිනා බව පෙනේ.

sithmalyaya.com


More News »