"දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්"

2017-10-07 10:36:00       70
feature-top
"ස්ථානය අනුව වගා බිම  ඔබට වගා කිරීමට ඇතැම් විට ඉඩකඩ ඇති ගෙවත්තක් නොතිබීමට පුළුවන. නමුත් මෙවැනි වගාවකට ඔබට එය බාධාවක් නොවනු ඇත. ඔබ මහල් නිවාසයක වාසය කළත් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වුවද මෙවැනි වගාවකට ප්‍රමාණවත්ය. ඔබට කුඩා ගෙවත්තක් ඇත්නම් ඒ සඳහා කුඩා ඉඩක් හෝ වෙන්කර වගාව පත්වාගෙන යා හැකිය.මහල් නිවාසයකට පාත්තියක්  මහල් නිවාසයක වාසය කරන අයකුට වුවද මෙම වගාව පහසුවෙන්ම කර ගැනීමට පුළුවන. මුලින්ම මේ සඳහා කුඩා බක්කියක් සකස් කරගන්න. දැන් එය තුළට සුදුසු මාධ්‍යයක් පුරවාගෙන එහි වගාව පවත්වාගෙන යා හැකිය. එය පහසු තැනක එල්ලා හෝ සුදුසු ස්ථානයක තැන්පත් කර ගනිමින් මෙම වගාව පවත්වාගෙන යා හැකිය. මෙහි වගා මාධ්‍ය ලෙස කොම්පෝස්ට් වියළි ගොම (ලබාගත හැකි නම්) දිරා ගිය කොළ රොඩු කොහුබත් ස්වල්පයක් හා මතුපිට පස්ද ලබාගන්න. මේ සියල්ල එක්කර ගැනීමෙන් සුදුසු වගා මාධ්‍යයක් සැකසෙයි.භූමියක නම්  සාමාන්‍ය භූමියක වගාව පවත්වාගෙන යන්නේ නම් භූමිය අඟල් 6ක් පමණ පෙරළා ගන්න. දැන් එහි ඇති ගල් හා ශාක මුල් වැනි ද්‍රව්‍ය ඉවත් කර ඒ මතට කොම්පෝස්ට් කූඩ 2ක් පමණ එක්කර ගැනීමෙන් සුදුසු මාධ්‍යයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත.කුඩා බඳුනක  කුඩා බක්කියක වගාව පවත්වා ගෙන යන්නේ නම් ඒ සඳහා මාධ්‍ය සැකසිය යුතු වන්නේ මේ ආකාරයටය. කොම්පෝස්ට් කූඩ 2කට මතුපිට පස් කූඩ 2ක්ද, කොහුබත් ස්වල්පයක්ද මිශ්‍ර කර මෙම මාධ්‍ය සකසා ගැනීමට පුළුවන. මෙහිදී වෙනත් දිලීර නාශක වැනි රසායනික ද්‍රව්‍ය එකතු කිරීමක් සිදුනොවේ. මුගුණුවැන්න වගා ක්‍රමවේදය මෙම වගා ක්‍රමය විශේෂ වන්නේ එය සාමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිරව සිදුවන නිසා හා ඉක්මන් අස්වනු නෙළා ගැනීමේ හැකියාව නිසාත්ය. මුගුණුවැන්න මිටිය කොටස් 3කට කපා ගන්න. එහි කපාගත් කොටස් 3 හැම විටම පාදස්ථ කොටස මාරු නොවන සේ තබා ගත යුතුය. කොටස් තුනකට කැපූ ඉහළම දල්ල, මැද කඳ කොටස හා යට පාදස්ථ කොටස ලෙස වෙන් වේ. මේ පාදස්ථ කොටස ඉක්මනින් පැළ වන නිසා එය හඳුනා ගැනීම වැදගත්ය.ඉන්පසු තමන්ගේ වගා බඳුන තුළ (බක්කිය තුළ) අඟල් 5න් 5ට දිග දාර (පේළි) සකස් කරගෙන එම පේළි මත ගනකමට සිටින සේ කපාගත් මුගුණුවැන්න මිටි අසුරාගන්න. ඉන්පසු වගා මාධ්‍යයෙන්ම අග්‍රස්ථ කොටස වසා සිර කරන අතරම හොඳින් ජලය යොදා සෙවණ සහිත ස්ථානයක තැන්පත් කළ යුතුය. දින 8ක් පමණ ගතවන තුරු කිසිවිටෙකත්  සූර්යාලෝකය කෙළින් පතිත වීමට ඉඩ නොතැබිය යුතුය. එසේ වුවහොත් සිදුවන්නේ දඬු වියළී යෑමය. එය පැළවීමට බාධා ඇති කරවයි. සෑම දිනකම ජල අවශ්‍යතාව සලකා බලා වගාව වියළී ඇත්නම් ජලය යෙදීම කළ යුතුය. එසේම දින 8කට පසු සූර්යාලෝකය ක්‍රම ක්‍රමයෙන් නිරාවරණය කිරීමෙන් පැළයේ වර්ධනයට අවශ්‍ය අවකාශ සැලසිය හැකිය. තවද වැඩි උත්සාහයෙන් ඔබ විසින් සකස් කරගත් මෙම වගාවේ ඉතාමත් කුඩා අලුත් අංකුර දකින විට ඔබට ප්‍රීතියක් ඇතිවනු නොඅනුමානය. මන්ද එම වගාව ඔබ විසින් කාබනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් රසායන ද්‍රව්‍යවලින් තොරව ලබාගත් පිරිසුදු වගාවක් වන බැවිනි.වගාව අතින් නෙළන්න එපා මෙහිදී වගා අස්වැන්න නෙළන විට කිසි විටෙකත් අතින් දඬු කඩා නෙළා ගැනීම නොකරන්න. ඔබට අවශ්‍ය කරන මුගුණුවැන්න ප්‍රමාණය ඔබේ බක්කිය තුළ දෙකට තුනට හෝ වෙන් කරගෙන අවශ්‍ය කොටස අඟලක් පමණ ඉතිරි වන සේ කපා පිහියකින් යටින්ම කපා ගන්න. මෙහිදී මුගුණුවැන්න මිටක් අතින් අල්ලාගෙන යටින්ම කපා ගතහැකිය. දෙවැනිවර තුන්වැනි වර මෙසේ කපා ගන්නා විට බොහෝ විට මෙම වගාව තුළ කුඩා තණකොළ වැනි වර්ග පැළවීමට ඉඩ ඇත. ඒවා පරිස්සමෙන් අතින් ගලවා ඉවත් කර ගැනීමෙන් පිරිසුදු සාර්ථක වගාවක් හිමි කරගත හැකිය.ඉක්මන් අස්වැන්න   වගා මාධ්‍ය වඩා සරු කර ගැනීමෙන් සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීමේ හැකියාවද ඔබට ලැබෙනු ඇත. මේ නිසා සෑම වගා නෙළීමකින් පසුවම හොඳින් වියළා කුඩුකර ගත් ගොම පොහොර හෝ ඉතාමත් පැරැණි වූ කුකුළු පොහොර ස්වල්පයක් එක් කිරීමෙන් නැවැත ඉක්මන් අස්වනු නෙළීමකට වගාව සකස් කරගත හැකියි. පසු වියළීම වැළැක්වීම : වගාවට කාබනික පොහොර යෙදීමෙන් පසුව ඒවා කුඩා පත්‍ර මත පතිත වන බැවින් යෙදූ සැණින් ජලය ස්වල්පයක් එක්කර පත්‍ර මත පතිත වූ කාබනික පොහොර ඉවත් කළ යුතුය. එයින් මුගුණුවැන්න පත්‍ර මත පිළිස්සීම් ඇතිවීම වළක්වාගත හැකිය. ස්වාභාවික කෘමිනාශක  වගාවකට කෘමි හානි ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් වගාව නිසි ලෙස පවත්වාගෙන යමින් එය හොඳින් සූර්යාලෝකයට නිරාවරණය වන්නේ නම් මෙම හානි බොහෝසෙයින් වළක්වා ගැනීමට පුළුවන. යම් හෙයකින් කෘමීන් බෝවුවහොත් කොහොඹ ඇට නිස්සාරකය හෝ සුදුලූනු කොටා පෙරා එයට ජලය ස්වල්පයක් එක්කර ඉසීමෙන් කෘමීන් මර්දනය කර ගැනීමට පුළුවන. මෙවන් වූ වගාවක් පවත්වාගෙන යෑමෙන් වස විස නැති ආහාර වේලක රසය ඔබේ පවුලටත් විඳගන්නට හැකි වේවි.මහින්ද දිසානායක ඇන්තූරියම් හා ඕකිඩ් වගා උපදේශක ඉසුරු ප්ලාන්ට් අධිපති ශාලිකා රංගනී සමරදිවාකර උපුටා ගැනීම මව්බිම" 

More News »