ආර්ථිකයට අතදීමට ගෙවතු වගාව

2017-10-20 11:08:00       78
feature-top
මෙරට ජනතාවගේ පෝෂණීය අවශ්‍යතා සපුරාලීම සඳහා බලයට පත් වූ සෑම රජයක් ම අඩු වැඩි ලෙසින් දායකත්වය සැපයීම විද්‍යාමාන වූ ලක්ෂණයකි. එමෙන්ම ඒ උදෙසා ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ ජාතික ප්‍රතිපත්තියක් බිහි නොවීම නිසාම වෙනස්වන කාලගුණික තත්ත්වයන් හමුවේ, වැඩිවන ජනගහනයට ප්‍රමාණවත් ලෙසින් ආහාර නිෂ්පාදනය කෙරෙහි වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී ඇති අස්ථාවරභාවය උදා වී ඇත. මෙම තත්ත්වයට මුහුණදිය හැක්කේ මෙරටට යෝග්‍යවන ස්වදේශීය ආහාර බෝග නිෂ්පාදන ක්‍රියාවලියක් දිගු කාලීනව ක්‍රියාත්මක කිරීම තුළින් පමණි.

විශේෂයෙන්ම වැවිලි බෝග සහිත ඉඩම් වෙනත් අවශ්‍යතාවලට අවිධිමත් ලෙස කැබලිකරණය කිරීම, මහාමාර්ග දෙපස කුඹුරු ඉඩම් ගොඩකරමින් ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම හා වන වගාවන් අශීලාචාර ලෙස සංහාරය කිරීම හේතුවෙන් සහ බෝග වගා කළ හැකි ප්‍රදේශයන්හි ජලමූලාශ්‍ර කෙරෙහි උදාකර ඇති අහිතකර තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය හැකිලීයාම වළකාගැනීමට නොහැකි වී ඇත. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය උදෙසා දායක කරගැනීමට හැකි ආකර්ෂණීය ක්‍රමවේද ක්‍රියාත්මක නොවීමත් දේශීය ආහාර නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපැවැත්වේ.

පවුලක ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සපුරා ගැනීමට හැකිවන ආකාරයේ සුළු පරිමාණයෙන් හෝ දේශීය ආහාර බෝග නිෂ්පාදනයට දායක වීම තුළින් දේශයේ සමස්ත ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කරගැනීමට යම් තරමකට දායක විය හැක.

මෙම අභියෝගයට මුහුණ දිය හැක්කේ කෙසේද? ඉඩකඩ ඇති සෑම තැනකම කුමන හෝ බෝගයක්, මල් පැළයක්, විසිතුරු ශාකයක් හෝ සිටුවීමට වඩා ක්‍රමවත් සැලැස්මක් ඔස්සේ ආහාර බෝග වගාවන්හි නිරතවීම, මේ උදෙසා වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත. අතීතයේදී ඕවිටක වගා කිරීම, ගෙමිදුලේ පිටුපස කොටසක වගාකිරීම වෙනුවට පසු කලෙක නිවෙස් බිම් සංවර්ධනය යනුවෙන් ද විද්‍යාමාන වූ ගෙවතු වගාවට යළි පුනර්ජීවනයක් ලබාදීම මේ සඳහා වූ එක් මඟකි. ගෙවතු වගාව ශීඝ්‍රයෙන් පැතිරයන උද්‍යාන අලංකරණය සමඟින් ගලපා ගැනීම තවත් මාර්ගයකි.

ඒ අනුව ආහාර බෝග කිහිපයක් හෝ එළවළු හා පලතුරු බෝග කිහිපයක් ඇසුරෙන් උද්‍යාන අලංකරණය කිරීම ගෙවතු වගාවට නවමු අරුතක් ගෙන දෙන වෑයමක් වනු ඇත. නාගරිකව වෙසෙන පෞද්ගලික නිවැසියන් හට ද, නාගරික මහල් නිවැසියන් හට මෙන්ම අර්ධ නාගරික හා ගම්බද නිවැසියන් හට ද නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ගෙවතු වගාව සඳහා යොමුවීම ඔස්සේ ගෙඋයන් සුන්දර වටපිටාවක් බවට පහසුවෙන් පරිවර්තනය කරගත හැකි වේ.

විශේෂයෙන්ම පාසල් පරිශ්‍ර තුළ ගෙවතු වගා ආදර්ශන ස්ථාපිත කිරීම සඳහා පළමුව අධ්‍යාපන කලාපයකින් එක පාසලක් බැගින් තෝරාගෙන අනුක්‍රමයෙන් දිවයිනේ සියලුම පාසල් ඒ සඳහා යොමුකර ගත හැක. එමඟින් පාසල් දරුවන්, ගුරු භවතුන් හා පාසල් ප්‍රජාව මඟින් ස්වකීය නිවෙස් බිම් හි සුදුසු පරිමාණයෙන් ගෙවතු වගාව ඇරඹීමට ඔවුන් පෙළගැස්සවිය හැක.

එමඟින් ඔවුන්ගේ අසල්වැසියන් ද ඒ කෙරෙහි නැඹුරු කර ගත හැකි වේ. පාසල් අධ්‍යාපනයේ හය වස‍ෙර් සිට දහය වසර දක්වා ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂයය යටතේ ද එකොළහ සහ දොළහ වසර තුළදී කෘෂි හා ආහාර තාක්ෂණය යටතේ ද පෙර කවර කලෙකටත් වඩා හොඳ කෘෂිකාර්මික දැනුමක් සිසුන් හට ලැබෙන හෙයින් පාසල් තුළ ගෙවතු වගාව ආදර්ශමත්ව වඩාත් සාර්ථකව ඉටුකළ හැකිවනු ඇත. කෙ‍සේ වුවද පාසල් කාලයෙන් පසුව හා පාසල් නිවාඩු කාලයන්හි මෙකී ගෙවතු රැකබලා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් පාසල් තුළින්ම ගොඩනඟා ගත යුතුව ඇත. නොඑසේ නම් පාසල් ළමුන්ගේ ව්‍යායාමය නිරර්ථක උත්සාහයක් වනු ඇත.

එමෙන්ම රාජ්‍ය ආයතන යටතට ගැනෙන කාර්යාල, දෙපාර්තමේන්තු, සංස්ථා, පොලිස් ස්ථාන හා ත්‍රිවිධ හමුදා මෙන්ම බන්ධනාගාර, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන සතු හිස් භූමි හා ගොඩනැගිලි පියසි පරිශ්‍රයන්හි සිරස් හා තිරස් අවකාශ මේ සඳහා උපයෝගී කරගත හැකි ආකාර පිළිබඳව සහ එකී ස්ථානයන්හි සේවයේ නිරත ප්‍රජාව මේ උදෙසා යොමුකර ගැනීමට ස්ථානීය වශයෙන් ඔවුන් දැනුවත් කිරීමට ද කටයුතු කළ යුතු වේ.

විශේෂයෙන්ම පරිසර හිතකාමී වගා ක්‍රමවේද සඳහා එකී ආයතනික ප්‍රජාව අනුගත කිරීම තුළින් තිරසාර කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීම උදෙසා දේශීය වශයෙන් ආහාර බෝග නිෂ්පාදනය කෙරෙහි සෑම කෙනෙකු හටම දායක විය හැකි ආකාරය පිළිබඳව සන්නිවේදනය කිරීමට හැකි වඩාත් ප්‍රතිඵලදායී ක්‍රියාමාර්ගයක් කෙරෙහි අවතීර්ණ විය හැක.

අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශයන්හි තරමක් විශාල ගෙවතු වගා ඒකක ස්ථාපිත කිරීම සඳහා හොඳ විභවයක් පවතී. කෙසේ වුවද මෙම ප්‍රදේශයන්හි පස හා ජලය සංරක්ෂණය ක්‍රම පිළිබඳව ද ඒ සමඟ වඩාත් සැලකිලිමත් විය යුතු වේ. විශේෂයෙන්ම බෑවුම් සහිත ඉඩම්වල ගෙවතු වගා කිරීමේදී සහ භූගත ජල සම්පත සීමාසහිත ප්‍රදේශයන්හි ගෙවතු වගා කිරීමේදී පාංශු සංරක්ෂණ ක්‍රම හා සූක්ෂම ජල සම්පාදන ක්‍රම කෙරෙහි එකී ප්‍රජාව දැනුවත් කළ යුතු වේ.

එමෙන්ම වර්ෂා කාලයේදී පියසි මතින් එක්රැස් වී ගලා යන වැසි ජලය සුරක්ෂා කර ගබඩා කර ගැනීම මඟින් ‍එම ජලය පිරිසිදු කර වගා කටයුතු සඳහා පරිහරණය කිරීමට උපයෝගී කරගත හැකි වේ. මේ සඳහා පියසි මතින් ගලා එන වැසි ජලය වැහි පීලි ඔස්සේ භූගතව හෝ මතුපිට ස්ථාපනය කර ගත් පොලිමර් ටැංකි තුළට රැස්කර යළි අවශ්‍යතා මත භාවිතයට ගැනීමට අප උත්සුක විය යුතු වේ.

මෙම ක්‍රියාවලිය සඳහා රෝපණ ද්‍රව්‍ය ලෙස දෙමුහුන් ප්‍රභේද, වැඩිදියුණු කළ ප්‍රභේද, විදේශයෙන් ආනයනය කරන ලද ප්‍රභේද වගා කිරීමෙන් වැලකී සිටීමට උනන්දු විය යුතුය.

ගෙවතු වගාවේදී ශාකවලට අවැසි පෝෂණය සැපයීම සඳහා හැකිතාක් කාබනික පොහොර යෙදීමට උත්සුක විය යුතුයි. මේ සඳහා කොළ පොහොර, දිරාපත් වූ රොඩු කුණු සමඟ ගොම මිශ්‍ර කර ස්වායු තත්ත්ව යටතේ හොඳින් දිරාපත්වීමට සලස්වා සකසා ගත් කොම්පෝස්ට් පොහොර භාවිතා කිරීම වස විසෙන් තොර අස්වැන්නකට හේතුකාරක වන අතරම පසේ භෞතික, රසායනික හා ජෛවී ලක්ෂණ ද දියුණු කරගත හැකි වේ.

මේ උදෙසා එළු, කුකුළු හා සූකර මලපහ යොදාගත යුත්තේ ඉතා හොඳින් දිරාපත් වූ පසුව ගොම යොදන ප්‍රමාණයෙන් අඩක ප්‍රමාණයකි. එසේම මේ සඳහා අවශ්‍ය කොළ පොහොර සපයා ගැනීමට මෙන්ම භූමි සංරක්ෂණයට ද ඉවහල් වන පරිදි ගෙවත්තේ වැට මායිම් සඳහා මෙන්ම දෙවැටි උදෙසා ද ග්ලිරිසීඩියා, එරබදු හා වල් සූරියකාන්ත වැවිය හැක. ගෘහාශ්‍රිතව එමෙන්ම මුළුතැන්ගෙයින් බැහැරලන එළවළු අවශේෂ, කඩදාසි කැබලි හා තේ කුඩු වැනි දිරාපත් වන ද්‍රව්‍යයන් ද ඒ සඳහා එකතු කර ගත හැකි වේ.

පරිසර හිතකාමී ලෙස රෝග හා පළිබෝධ පාලන කර ගැනීම සඳහා දෛනිකව වගා ක්ෂේත්‍රය පරීක්ෂා කර රෝග හා පළිබෝධක හානි සහිත කොටස් කපා ඉවත් කිරීම, විශාල කෘමි සතුන් අල්වා ඉවත් කිරීම, කුඩා සතුන් කොහු බුරුසුවකින් පිස දැමීම මෙන්ම හඳුනාගත නොහැකි රෝගී තත්ත්වයන් මතු වූ ශාක උගුලා බැහැර කර විනාශ කිරීම කළ යුතුය. එසේම ඉල් මැස්සාගෙන් ද, පලතුරු මැස්සාගෙන් ද වන හානි වළකා ගැනීමට ඵල කුඩා අවධියේදී ඉඩකඩ සහිත වූ කඩදාසි කවර මඟින් ආවරණය කිරීම ද කළ හැක.

එසේ නැතිනම් විවිධ කුලවලට අයත් බෝග වර්ග එකට වගා කිරීම එයට පහසු විසඳුමකි. කොහොඹ ඇට නිස්සාරණය කර ජලය සමඟ මුසුකර සාදා ගත් දියර, සබන් සමඟ කොහොඹ තෙල් ජලයේ මිශ්‍රකර සාදාගත් දියර, දුම්කොළ තම්බා ලබාගත් ඉස්ම තනුක කරගත් සාදාගත් දියර, කොහොඹ කොළ හා කැප්පෙටියා කොළ ජලයේ පල්කර ලබාගත් ද්‍රාවණය කෘමිනාශක ලෙස භාවිතා කිරීම ආහාර බෝග සඳහා මෙන්ම පරිසරයට ද හිතකර වේ.

ගෙවතු වගාව සඳහා භූමි ඉඩකඩ සීමිත නාගරික පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි මෙන්ම නාගරික නිවැසියන් හටද පස් රහිත වගා ක්‍රමය කෙරෙහි නැඹුරුවීම තුළින් ආහාර බෝග කිහිපයක් වුවද පහසුවෙන් වගාකර රැකබලා ගැනුමට හැකියාව තිබේ. එසේම ගෙවතු වගාවේදී මුහුණපාන ජල සම්පාදනය, පොහොර යෙදීම හා වල් මර්දනය සඳහා ශ්‍රම සූක්ෂ්ම තාක්ෂණ ක්‍රම උපයෝගී කර ගැනීම, පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා ආහාර බෝග ද්විතීයික නිෂ්පාදනය බවට පත්කර පාරිභෝජනයට ගත හැකි ආකාර පිළිබඳව විෂයානුබද්ධ දැනුම හා හුරුව ලබාදීමට සහ ඒවා ප්‍රචලිත කිරීමට රාජ්‍ය අංශ සමඟින් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් සහ ස්වේච්ඡා සංවිධාන ද නිර්ව්‍යාජව යොමුවන්නේ නම් එය දේශීය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ඉමහත් පිටුබලයක් වනු නොඅනුමානය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »