මල් හටගන්නා ශාක වලින් නව ශාක බිහි වීම

2017-11-01 11:37:00       21
feature-top
පසුගිය සතියේ අප මල් හටනොගන්නා ශාක සහ ඒවායේ බෝවීම පිළිබඳව කතා කළා ඔබට මතක ඇති. නමුත් මල් හටගන්නා ශාකවල බෝවීම හෙවත් නව ශාක බිහිවීම සිදුවන්නේ ඒවාට වඩා වෙනස් ආකාරයෙනුයි.මල් හටගන්නා ශාකවල නව ශාකයක් බිහිවීමට අවශ්‍ය කොටස් පුෂ්පයක් හෙවත් මලක් තුළ පිහිටා තිබෙනවා. මේවා ස්තී‍්‍ර කොටස් සහ පුරුෂ කොටස් ලෙස කොටස් දෙකක් පවතිනවා. එකම මලක වෙන් වෙන්ව මෙම ස්තී‍්‍ර කොටස් හා පුරුෂ කොටස් පිහිටා තිබෙනවා. මල්හටගන්නා ශාකයක පුරුෂ කොටස පරාග ලෙසත් ස්තී‍්‍ර කොටස බීජ කෝෂය ලෙසත් හඳුන්වනු ලබනවා.විවිධ ක‍්‍රම මගින් මෙම බීජ කෝෂය වෙත පරාග ලැබීමෙන් නව ශාකයක බිහිවීම සිදුවෙනවා. ශාකවල පරාග පැතිරීම සඳහා ශාකයක් විවිධ ක‍්‍රම යොදාගනු ලබනවා. තෘණ ශාක හා බොහෝ වෘක්‍ෂවල පරාග පැතිරීම සිදුවන්නේ සුළඟ මගිනුයි. මේවා කහ පැහැති දූවිල්ලක් ලෙස සුළඟේ පාවී යන අයුරු සමහර අවස්ථාවල දැකගත හැකියි. තවත් බොහෝ ශාකවල පුෂ්පයන්හි දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු පෙති (දල) පිහිටා තිබෙනවා. එමෙන්ම සමහර මල්වල පැණි අන්තර්ත වෙනවා. මල්වල පැහැයට හා පැණිවලට ආකර්ෂණය වන කෘමි සතුන්ගේ පාදවල පරාග තැවරීම සිදුවෙනවා. මී මැස්සන් වැනි කෘමීන් පැණි එකතු කිරීමට පුෂ්පය මත ගමන් කරත්දී එහි පරාග ඔවුන්ගේ සිරුරේ දැවටෙනවා. ඉන්පසු ඔවුන් වෙනත් පුෂ්පයන් කරා පියඹා ගිය විට ඒ මල මත එම පරාග අතහැර දමනවා. එවිට එම පරාගවල කි‍්‍රයාකාරිත්ව ආරම්භ වෙනවා.
ඉතා කුඩා නලයක් සෑම පරාග ඛණිකාවකින්ම වැඩෙන්නට පටන්ගන්නවා. ඒවා බීජ කෝෂයේ බිත්ති තුළින් ඒ තුළට ගමන් කරනවා. පරාග ඛණිකාවේ අඩංගු ද්‍රව්‍ය නලය තුළින් බීජ කෝෂය කරා ගමන්කර එහි ඇති ද්‍රව්‍ය සමග එක් වීමෙන් නව ශාකයක් බිහිවීමේ කි‍්‍රයාවලිය ආරම්භ වෙනවා. පසුව එය බීජයක් බවටත් පසුව නව ශාකයක් බවටත් පත්වෙනවා.විවිධ ශාකවල හටගන්නා බීජ විවිධාකාර වන අතර විවිධ ක‍්‍රමවලින් ඒවායේ පැතිරීම සිදුවෙනවා. ඩැන්ඩලියන් වැනි ශාකවල පැතිරීම සුළඟ මගිනුත් පොපි මලෙහි ගොණුවක් ලෙස ඇති බීජ පිටතට විසිරීම මගිනුත් පැතිර යනවා. Burdoc  වැනි කණ්ඨක ශාකවල බීජ සතුන්ගේ ලොම්වල පැටලීමෙන් ප‍්‍රචාරණය සිදුවනවා. හොර වැනි සමහර ශාකවල බීජවලට කුඩා පියාපත් වැනි උපාංග දෙකක් පිහිටන අතර ඒවා සුළඟත් සමග ඈතට ගසාගෙන යාමෙන් පැතිර යනවා. මෙම බීජ නිතරම ඵලයක් (ගෙඩියක් තුළ) පිහිටා තිබෙනවා. මෙම ගෙඩි කුඩා සතුන්ගේ හා පක්ෂීන්ගේ ආහාර බවට පත්වූ විට ඒ මගින්ද ඒවායේ පැතිරීම සිදුවෙනවා. එම බීජවල වර්ධනයට සුදුසු පරිසරයක් ලැබුණු විගස ඒවායේ වර්ධනය ආරම්භ වෙනවා.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »