සාර්ථක උඩවැඩියා වගාවකට අනුගමනය කළ යුතු පිළිවෙත්

2017-12-07 10:56:00       65
feature-top
ඔන්සීඩියම් ගණය (Oncidium)

මේ ගණයේ ඕකිඩ් ව්‍යාප්ත ව ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ ය. ශාක බහුපාදීය වර්ධනයක්‌ පෙන්වයි. භෞමික හා අපිශාක යන ආකාර දෙකට ම අයත් වන ශාක විශේෂ පවතියි. නැට්‌ටුවකු ගේ හැඩය ඇති මල් පිහිටා තිබීම විශේෂත්වයකි. කහපාට, දුඹුරු පාට, රතුපාට, වැනි වර්ගවලින් දැකිය හැකි ය. කැපූ මල් ලෙස කහ පැහැති මල් බොහෝ දුරට යොදා ගනියි. 

කැටලියා ගණය (Cattaleya)

කැටලියා බහුපාදී වර්ධන විලාශයක්‌ පෙන්වන අපිශාකයකි. වැඩීම සෙමින් සිදු වේ. හටගන්නා මල් විශාල ය. වර්ණවත් ය මල් කිනිත්තක හට ගන්නා මල් සංඛ්‍යාව අඩු ය. මල අලංකාර බවින් වැඩි ය. බඳුන්ගත පැළෑටියක්‌ ලෙස ද වටිනාකමකින් යුක්‌ත ය. 

පැලනොප්සිස්‌ ගණය 

මේ ගණයට අයත් විශේෂ 50 ක්‌ පමණ හඳුනාගෙන ඇත. ශාකවල පත්‍ර මාංශලමය වන අතර ඒකපාදී වර්ධනයක්‌ සහිත ය. සලබයකු ගේ හැඩය ඇති විශාල මල් ඇති අපිශාකයකි. එක කිනිත්තක මල් 8-10 ක්‌ පමණ ඇති වේ. මේ ආකාරයේ මල් කිනිති 1-2 ක්‌ පමණ වසරක්‌ තුළ ලබාගත හැකි ය. බඳුන්ගත පැළයක්‌ ලෙසට ඉල්ලුමක්‌ පවතී. මල්වල කල් පැවතීමේ ශක්‌තිය වැඩි ය.

ඉහත ආකාරයේ උඩවැඩියා වර්ග රාශියක්‌ අප රට තුළ වගා කෙරේ. උඩවැඩියා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් නෙයෙකුත් දෙමුහුම් වර්ග නිපදවනු ලැබ ඇති අතර විවිධ වර්ණයෙන් යුත් උඩවැඩියා වර්ග වෙළෙඳපොළේ තිබේ. පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය මහ රැජින නමින් නම් කළ උඩවැඩියා වර්ගයක්‌ එතුමියට ප්‍රදානය කිරීමේ අවස්‌ථාවක්‌ ශ්‍රී ලාංකිකයකුට උදා වීම විශේෂත්වයක්‌ ලෙස සැලකිය හැකි ය.

සාර්ථක උඩවැඩියා වගාවක්‌ පවත්වා ගැනීමට නම් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව මෙතැන් සිට සාකච්ඡා කෙරේ.

වගාව සඳහා තෝරා ගන්නා ශාක වර්ගය අනුව සුදුසු වන දේශගුණික තත්ත්වය ලබා දීම ඉතා වැදගත් ය. අප රටේ මේ සඳහා හඳුනාගත් ප්‍රදේශ ලෙස පහතරට තෙත් කලාපය, මධ්‍ය කඳුකර ප්‍රදේශ, අතරමැදි කලාපීය ප්‍රදේශ නම් කළ හැකි ය. 

මේ දේශගුණික සාධක අතර උෂ්ණත්වය පිළිබඳව සලකා බැලීමේ දී ශාකයේ වර්ගය අනුව වෙනස්‌ වන උෂ්ණත්ව තත්ත්වයන් පවතී. දහවල මෙන්ම රාත්‍රී උෂ්ණත්වය ද ශාක වර්ධනය කෙරෙහි බලපාන බව අමතක නො කළ යුතු ය. වර්ධනය කෙරෙහි පමණක්‌ නො ව මල් හට ගැනීමට ද උෂ්ණත්වය බලපානු ලැබේ. 

ආර්ද්‍රතාව ශාකයේ වර්ධනය, මල් හට ගැනීම, හට ගන්නා මල් කිනිති ප්‍රමාණය, මල්වල වර්ණය ආදී සියලු ම දේ කෙරෙහි බලපාන සාධකයකි. මේ නිසා වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය ය. පැළ ගෘහ තුළ පවා පායන කාලවල කෘත්‍රිමව ජල මීදුම් ලෙස විසිරවනුයේ මේ ජල වාෂ්ප ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට ය.

හිරු එළිය ද ශාකවල සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වේ. උඩවැඩියා ශාකය උදෑසන හිරුඑළිය ප්‍රිය කරන ශාකයකි. සෘජුව ම උදෑසන හිරුඑළිය ලැබීමට සැලැස්‌වීම වැදගත් ය. එමෙන්ම දවසේ වැඩි කාලයක්‌ හිරුඑළිය ලැබීම ශාකයට හිතකර ය. එහෙත් දිවා කාලයේ හිරු එළිය ශාකයට සෘජුව ම ලැබුණ හොත් ශාකය පිළිස්‌සී යයි. එම නිසා පාලනයකින් යුතු ව ශාකයට හිරු එළිය පතිත විය යුතු ය. මේ සඳහා සෙවණ ලබා දෙන ආකාරය ඉතා වැදගත් වේ. ප්‍රසස්‌ථ සෙවණ ප්‍රමාණය පහත සඳහන් වේ. 

ඩෙන්ෙඩ්‍රාaබියම් 40%

වැන්ඩා 40%

ඔන්aසීඩියම් 40%

කැටලියා 50%

පැලනොප්සිස්‌ 30%

අවශ්‍ය කරන සෙවණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව නිසි ලෙස සැපයීම සඳහා සෙවණ ශාකයක්‌ තුළ උඩවැඩියා වගාව සාර්ථකව කළ හැකි ය. 

සෙවණ ගෘහ නියමිත ආකාරයට ඉදි කර ගැනීම අවශ්‍ය ය. පොළොව මට්‌ටමේ සිට අඩි 10-12ක උසකින් දැල සකස්‌ කර ගත යුතු වේ. දැල රැඳවීම සඳහා ජී.අයි.බට, එල් අයන් කොන්ක්‍රීට්‌ කණු යොදා ගැනීම කාලයක්‌ පැවතීමට හේතු වේ. දැව කණු යොදා ගන්නේ නම් ඒවා ශක්‌තිමත් විය යුතු ය. කල් පැවතීම ගැන සලකා බැලීමේ දී දැව කණුවලට වඩා අනෙකුත් වර්ග යොදා ගැනීම සුදුසු ය.

පැළ ගෘහ තුළ තබා ගැනීම සඳහා මේස සකස්‌ කළ යුතු ය. පොළොව මට්‌ටමේ සිට අඩි 2 1/2ක පමණ උසකින් පැළ රඳවා ගැනීම වඩාත් ම පහසු ය. පැළ රඳවන විට වැඩි ජලය බැස යන ලෙසත්, මුල්වලට වාතාශ්‍රය ලැබෙන ලෙසත් ඒවා තැන්පත් කිරීම අවශ්‍ය ය. මේ කරුණු ගැන නිසි ලෙස සැලකිලිමත් නො වීම නිසා වගාවට හානි සිදු වේ. උඩවැඩියා ශාකවල මුල් නිදහසේ එල්ලා වැටෙන ආකාරයට පැළ 

රැඳවීම අවශ්‍ය වේ. 

උඩවැඩියා වගාවක ආරම්භය හොඳ පැළවලින් සිදු කළ යුතු ය. වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඇති සාමූහික බඳුන් "කොම්පොසිට්‌" ලෙස හඳුන්වයි. මේ බඳුනක පැළ 25-30 පමණ බොහෝ විට පවතී. විශ්වාසී ස්‌ථානයකින් පැළ ලබා ගැනීම ඉතා වැදගත් ය. ලාභයට ලබා දෙන පැළවලින් ගැටලු මතු විය හැකි ය. මූලික වශයෙන් යොදන අධික වියදමෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නම් මනා වර්ධනයකින් යුතු නිරෝගී, වැඩි ආදායමක්‌ ලැබෙන, පරිසරයට ගැළපෙන වර්ග තෝරා ගත යුතු ම ය. සාමාන්‍යයෙන් අඟල් 2-3 අතර උසකට වැඩුණු පැළ තනි බඳුනක වගා කිරීම සුදුසු ය. 

මේ සඳහා යොදාගනු ලබන විශේෂිත බඳුන් ඇත. බහුලව භාවිත කරන්නේ මැටි බඳුන් ය. පැතිවල සහ පතුලේ සිදුරු සහිත උඩවැඩියා වගාවට යොදා ගන්නා බඳුන් වෙළෙඳපොළේ තිබේ. ලී පටිවලින් සැකසූ බඳුන් ද මිල දී ගත හැකි ය. වැන්ඩා වර්ගය දික්‌ වූ මුල් සහිත ය. ඒ වර්ග සඳහා මේ ලී පටිවලින් සැකසූ බඳුන් යොදා ගනු ලබයි. 

බඳුන්වලට යොදන මාධ්‍යය ද උඩවැඩියා සඳහා ම විශේෂිත ය. අපිශාක ලෙස වගා කරන උඩවැඩියා සඳහා අඟුරු සමග උළු කැබැලි, ගඩොල් කැබැලි ආදිය යොදා ගනියි. සමහර දෙනෙක්‌ අඟුරු සමග පොල් ලෙලි කැබැලි ද යොදා ගනිති. මේ වගා මාධ්‍යයෙන් පැළවලට පෝෂණය සැපයීමක්‌ සිදු නො වේ. එම නිසා මේ මාධ්‍ය යොදන විට හොඳින් ජලය බැස යන ලෙසත්, මුල්වලට වාතාශ්‍රය ලැබෙන ලෙසත් තෝරා ගැනීම අවශ්‍ය ය. මුලින් සඳහන් කළ ආකාරයට සාමූහික බඳුනක ඇති පැළ අඟල් 2-3 පමණ වූ පසු අඟල් 2 පමණ බඳුන්වලට මාරු කළ යුතු ය. මෙසේ පැළ බඳුනේ සිටුවන විට මැරී ගිය පත්‍ර කැබැලි ආදිය ඉවත් කර තනුක කැප්ටාන් ද්‍රdවණයක (දිලීර නාශක) විනාඩි 5ක්‌ පමණ ගිල්වා තබා සිටුවා ගැනීම යෝග්‍ය ය. ඉන්පසු බඳුනේ අඟල් 1/2 -3/4 පමණ වූ අඟුරු කැබැලි කීපයක්‌ තබා බඳුන තුළ පැළය සිරස්‌ව රඳවා ගනු ලබයි. එම පැළය අඟල් 6ක්‌ පමණ උස හා විෂ්කම්භය ඇති බඳුනකට මාරු කළ යුතු ය. බඳුනේ එක්‌ කෙළවරක අඟල් 9ක්‌ පමණ වූ ආධාරකයක්‌ රඳවා බඳුනේ 2/3ක්‌ පමණ අඟල් 1ක්‌ පමණ අඟුරු කැබැලිවලින් පුරවා අඟල් 2 බඳුනෙන් ඉවත් කළ පැළ මේ බඳුනට මාරු කරගෙන ආධාරකයට තබා ගැට ගසා ගැනීම අවශ්‍ය ය. මේ අවස්‌ථාවේ දී ම මිය ගිය ශාක කොටස්‌ ඉවත් කර ගැනීමත්, කැප්ටාන් ද්‍රdවණයක ගිල්වා තබා සිටුවා ගැනීමත් සෞඛ්‍යාරක්‍ෂිත ය. පැළය තැන්පත් කර නැවතත් අඟුරු කැබැලිවලින් පුරවාගත යුතු ය. 

උඩවැඩියා වගාව සඳහා යොදන මාධ්‍ය නිවැරැදි ආකාරයට සිදු කිරීම ප්‍රතිපලදායක බව වටහාගත යුතු ය. වාණිජ වගාවක්‌ සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් මල් අවශ්‍ය ය. නිසියාකාර පරිසර සාධක ලබා දීමෙන් ද නිවැරැදි මාධ්‍ය යෙදීමෙන් ද පැළෑටි පෝෂක නිවැරැදිව ලබා දීමෙන් ද සාර්ථක ප්‍රතිඵල ලැබේ. එසේ නැතිව මල් හට ගත්ත ද ඒවායේ තත්ත්වය උසස්‌ නො වේ. 

පෑළෑටිවලට ජලය යෙදීම ද සැලකිල්ලෙන් කළ යුතු ය. ජලයේ පිරිසිදු බව ද ඉතා වැදගත් ය. ළිං ජලය, වැසි ජලය යෝග්‍ය වන අතර ක්‌ලෝරීන් සහිත නළ ජලය වගාවට හිතකර නො වේ. නළ ජලය පැය 24ක පමණ කාලයක්‌ වාතාශ්‍රයට නිරාවරණය කර තබා භාවිතයට ගත යුතු ය. ජලය යෙදීමට පෙර බඳුන් වියළි තත්ත්වයේ තිබිය යුතු ය. වැසි සහිත හෝ අඳුරු සහිත කාලගුණයක්‌ පවතී නම් ජලය යෙදීම සුදුසු නො වේ. සාමාන්‍ය හිරු එළිය පවතින විට දවසට වරක්‌ ද වියළි කාලගුණය පවතින විට දවසට දෙවරක්‌ ද ජලය යෙදීම අවශ්‍ය වේ. 

courtesy : vidusara.com


More News »