ජල හිඟයට විසඳුම් දෙන පොලිතීන් බඳුන් බෝග වගාව

2017-12-15 11:03:00       109
feature-top
වියළි කලාපයේ සීමිත ජල සම්පත නිසි කළමනාකරණයෙන් බෝග වගාව ප්‍රචලිත කිරීම සඳහා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු කෙරෙන මේ ව්‍යාපෘතිය හරහා පසුගිය වසරේ පොලිතින් බඳුන් 81,000 ක් පමණ බෙදා හැර තිබේ.මේ යටතේ ප්‍රධාන වශයෙන් භූමිය මත වගා නොකොට පොලිතින් බඳුන් තුළ බෝග වගා කරවීමට ගෙවිලියන් දිරි ගැන්වේ. බොහෝ ගෙවිලියන් වගා සඳහා පොලිතින් බඳුන් භාවිතය ඉතා වාසිදායක බව වටහා ගෙන ඇත.

නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ශ්‍රී ලංකාවේ බටහිර බෑවුම්වලට මේ දිනවල වර්ෂාව රැගෙනවිත් ඇත. ඒ හා සමගාමීව ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන් එම පළාත් තුළ සක්‍රීය වී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ජාතික සහන සේවා මධ්‍යස්ථානයත් මේ සක්‍රීය මෝසම් තත්ත්වය තුළ වඩාත් කාර්යබහුල වී ඇත. රට තුළ බටහිර බෑවුම්වල තත්ත්වය මෙසේ වුවත්, නැගෙනහිර බෑවුම් සහ වියළි කලාපීය තැනිතලා භූමියේ පුරා වසරකටත් වඩා දිගු වූ නියං තත්ත්වයක් පවතී. මේ නියඟය හේතුවෙන් පානීය ජලයවත් සපයා ගත නොහැකිව පීඩාවට පත්වී සිටින වියළි කලාපයේ ගම්වාසීන්ට විශේෂයෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හරහා බවුසර යොදාගනිමින් ජලය බෙදනු ලබයි.

අභියෝගයට පිළියම

වියළි කලාපයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ප්‍රදේශවල පානීය ජලමූලාශ්‍ර මේ වන විටත් සිඳී ගොසිනි. බොහෝ ගම්වල තිබෙන ළිංවලින් සියයට හැත්තෑවක් පමණ මුළුමනින්ම වියළී ඇත. ගොවි ජනතාවගේ කුඹුරු කන්න දෙකක්ම පාළු වීමත්, අතිරේක භෝග වගාවෙන් එක්රැස් කරගත් ධාන්‍ය වර්ග එදිනෙදා පරිභෝජනය කිරීමත් හේතුවෙන්, අටු කොටු දැනටමත් හිස් වී ගොසිනි.මේ තත්ත්වයෙන් මිදීම උදෙසා ගෘහිණියන් පාරිභෝජන මට්ටමේ ගෙවතු වගාවෙන් එදිනෙදා ආහාර අවශ්‍යතා සකසා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. බොහෝ කාන්තාවන්ට පැළයකට ජීවය දීමට තරම්වත් ජලය සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇත. කෙසේ වුවත් ඔවුන් මේ අභියෝගය ක්‍රමිකව ජය ගන්නා බවක් පෙනේ.

ගෙවත්තේ බෝග නිෂ්පාදනය

දැනටමත් පවතින දැඩි නියං තත්ත්වයේ වයඹ පළාතේ මී ඔය ගංගා ද්‍රෝණිය ඇසුරේ ජීවත්වන ගෘහිණියන් වියළි කාලය තරණය කරමින් සිය ආහාර අවශ්‍යතා කෙසේ සුරක්ෂිත කරගන්නේදැයි විමසා බැලීම කාලෝචිතය. නියඟය අභිමුව නොසැලී සිටීමට හැකි කෘෂිකාර්මික වගා ක්‍රම ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසයි.වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව මහනාන්නේරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීමේ වැඩසටහන (C-CAP) යටතේ, අඩු ජල ප්‍රමාණයක් හසුරුවා ගනිමින් සිය ගෙවත්තේ බෝග නිෂ්පාදනයට පළාතේ ගෘහණියන් යොමු කරයි.

වියළි කලාපයේ සීමිත ජල සම්පත නිසි කළමනාකරණයෙන් බෝග වගාව ප්‍රචලිත කිරීම සඳහා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු කෙරෙන මේ ව්‍යාපෘතිය හරහා පසුගිය වසරේ පොලිතින් බඳුන් 81,000 ක් පමණ බෙදා හැර තිබේ.මේ යටතේ ප්‍රධාන වශයෙන් භූමිය මත වගා නොකොට පොලිතින් බඳුන් තුළ බෝග වගා කරවීමට ගෙවිලියන් දිරි ගැන්වේ. බොහෝ ගෙවිලියන් වගා සඳහා පොලිතින් බඳුන් භාවිතය ඉතා වාසි දායක බව වටහා ගෙන ඒ සඳහා යොමු වෙමින් පවතී.

වගා කිරීමේ අවබෝධය

පොලිතීන් බඳුන්වල බෝග වගා කරන විට බාහිරින් එකතු කරන ජලය බඳුන්වල රැඳේ. පසෙහි බෝග සිටුවා ජලය එක් කරන විටදී පස වියළි නිසා ශාකවල මූල මණ්ඩලයට අදාල ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයකට අප එක් කරන ජලය පැතිරේ. එවිට ඒවා වෙනත් ශාක අවශෝෂණය කරනවා මෙන්ම වාෂ්පීකරණයටද බෙහෙවින්ම ලක් වේ.

එහෙත් බඳුන්වල වගා කළ විට සුළු ප්‍රමාණය වලින් එකතු කරන ජලය පවා බඳුන්වල දින කිහිපයකට වුවත් සෑහෙන බව නාන්නේරිය ප්‍රදේශයේ සාගර ගොවි මහතාගේ බිරිඳ ලක්ෂ්මීගේ වගා අත්දැකීම් සාක්ෂි දරයි. ඇයට අනුව, භූමියේ වගා කටයුතු සිදුකරන විටදී කාන්තාවක් ලෙස ඇයට ජලය දැමීම සඳහා ආයාසයෙන් බට ආදිය හැසුරුවීමට සිදුවේ. එහෙත් බඳුන්වල වගාවන් සිදු කිරීමේදී ජලය දැමිය යුතු වාර ගණන අවම නිසා ඇයට දැන් එම කාර්යය පහසු වී ඇත.

බඳුන්වල බෝග ප්‍රවර්ධනය

ව්‍යාපෘතිය හරහා බඳුන්වල වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා වයඹ පළාතේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක නිසි ක්‍රමවේදයක් හරහා තොරාගන්නා ලද ගෙවිලියන් හට මිරිස් වගාව සඳහා බඳුනක කටෙහි පළල අඟල් 12ක් සහ උස අඟල් 14ක් වන මධ්‍යස්ථ පරිමාවේ බඳුන්ද එළවළු වගාව සඳහා පළල අඟල් 16ක් සහ උස අඟල් 18ක් වන විශාල ප්‍රමාණයේ බඳුන් ද බෙදා හැර ඇත. ගල්ගමුව කොට්ඨාසයේ විෂයභාර නිලධාරී රණවීර මහතාට අනුව මෙම මධ්‍යස්ථ පොලිතීන් බඳුන් අවාරයේ ඉහළ ස්ථාවර ආදායමක් ලබා ගැනීමට මිරිස් වගා කිරීම සඳහා ගෙවිලියන් අතර වඩාත් ප්‍රචලිතයි. එසේම කුඩා ප්‍රමාණයේ කැරට්, බීට්, ගෝවා, මෑ කරල්, රාබු, නෝකෝල් අදී බෝග ද මේ බඳුන්වල වගා කෙරේ. ගල්ගමුව කොට්ඨාසයේ විෂයභාර නිලධාරී රණවීර මහතාට අනුව පසෙහි සාදන බෝගයක් සඳහා පවතින වියළි තත්ත්වයට ගැළපෙන ලෙස, පැළයකට දිනකට ජලය මිලි ලීටර 750ත් 1000ත් අතර අවශ්‍ය වේ. නමුත් බඳුන් තුළ සිදු කෙරෙන වගාවේදී පැළයකට දිනකට අවශ්‍ය වනුයේ ජලය මිලි ලීටර 500 ක ප්‍රමාණයක් පමණ අගයකි. වසුන් යෙදීම සිදු කල විට යළිත් ජලය යෙදීම දින තුන හතරක් දක්වා වුවද ප්‍රමාද කර ගත හැකිය.

ව්‍යාපෘතිය යටතේ බොහෝ ගෙවිලියන් තමන්ට ලැබුණු බඳුන් 50ක් තුළ ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ලෙස විවිධ එළවළු වර්ග පරිභෝජනය සඳහා වගා කරයි.

ආරක්ෂිත නිවෙසක වගාව

පොලිතීන් බඳුන් තුළ සිදුකෙරෙන වගාවන් ගෙවිලියන් හට බෙහෙවින් ආර්ථික වාසි අත්කර දේ. ගල්ගමුව පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලියනගේ මහතා ප්‍රකාශ කළ පරිදි, මෙම බඳුනක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් 12 ක් පමණ වැය වේ. නමුත් රජය විසින් 50% ක් වියදම දරමින් සහනදායී මිලකට මෙම බඳුන් බෙදා හරිනු ලබයි. එබැවින් රු.12ක් පමණ වන එක් පොලිතින් බඳුනක් සඳහා ගෙවිලියන් විසින් ආයෝජනය කළයුතු වන්නේ රුපියල් 6ක් තරම් වූ සුළු මුදලකි. නියං සමයට ජලය හිගවීම හේතුවෙන් මිරිස් වගාව සිදුකළ නොහැකි හෙයින් අවාරයේ මිරිස් අධික ලෙස මිල ඉහළ යයි. නමුත් පොලිතින් බඳුන් තුළ එය ඉතා අඩු ජලය ප්‍රමාණයකින් සිදුකළ හැකි නිසා අවාරයේ වුවද වෙළඳපොළේ මිරිස් මිල ස්ථායී ලෙස පවතී. මධ්‍යස්ථ බඳුනක වගා කෙරෙන මිරිස් පැළයකින් සිව් මසක් ඇතුළත කිලෝග්‍රෑම් 1.5 සිට 2.0 ක පමණ අස්වැන්නක් ලබා ගත හැක. වෙළඳපොළේ ස්ථායී මිරිස් මිල රුපියල් 800-900ත් අතර අගයක් ගනී. එබැවින් එක බඳුනකින් වරකට රුපියල් 1800 ක පමණ වටිනා අස්වැන්නක් නෙළා ගැනීමට ගෙවිලියන් හට හැකි වේ. මෙම පොලිතීන් බඳුන් සාමාන්‍යයෙන් තෙවරක් පමණ භාවිතා කලහැකි බැවින් රුපියල් 6ක් වටිනා එක් බඳුනකින් රුපියල් 5400ක පමණ වටිනා අස්වැන්නක් ලබාගැනීමට දැන් පළාතේ ගෙවිලියන් හට අවස්ථාව උදාවී ඇත.

ජල සංරක්ෂණය

ජලය සුලභ නාන ස්ථානයක හෝ ජල කරාමයක් අසලින් පොලිතින් බඳුන් තබා ගත හැකි වීමත්, ජලය අඩුවෙන් වැය වීමත්, ජලය දැමිම පහසු වීමත් නිසා මේ වගාවන් නියං සමයේදී ආර්ථික වාසි අඛණ්ඩව ලැබීමට මනා අස්වැසිල්ලකි. වගාවන් සිදුකළ පොලිතීන් බඳුන් නිවසේ උස් ස්ථානයක හෝ වහලයක් මත හෝ තබාගත හැකි නිසා සිය වගාවන්ට වල් අලීන්ගෙන් මෙන්ම අනෙකුත් සතුන්ගෙන් සිදුවන හානිද අවම කරවයි. ඉහළපළුකන්දෑව ග්‍රාමයේ දිවි ගෙවන වයි. එම්. චන්ද්‍රකාන්ති මහත්මිය දැනටමත් බඳුන් තුළ වගාවේ සාර්ථක ප්‍රයෝජන ලබා ගනිමින් සිටිනා දිරිය කාන්තාවකි.මෙහි සාර්ථකත්වය අවබෝධ කරගත් ඇය මේ වන විට බඳුන් පන්සියයක පමණ වගා කටයුතු කරමින් සිටියි. අහසින් වැටෙනා ජලය සංරක්ෂණය කරගන්නා ක්‍රමවේද අත්හදා බලනා ඇය, වැසි ජලය සිය වගාවටත් එදිනෙදා වැඩ කටයුතු වලටත් කදිම ලෙස යොදවයි.

බඳුන් වගාව සදහා වැසි ජලය රැස්කිරීම

බඳුන් තුළ බෝග වගාව ඇයට මහත් අස්වැසිල්ලකි. දේශගුණික විපර්යාස සඳහා අනුහුරු වීමේ ව්‍යාපෘතිය හරහා නොමිලයේම ලද බඳුන් 100ක් තුළ මිරිස් වගාවක් සාර්ථක කරගැනීමට ඇයට නිසි උපදෙස් ගල්ගමුව කෘෂිකර්ම කාර්යාලය හරහා ලැබිණි. ඇයට ඉන් සාර්ථක ප්‍රතිපල නෙළා ගැනීමට හැකිවිය. එක් මිරිස් ගසකින් කරල් 250ක් පමණ ලබා ගැනීමට හැකිවූ චන්ද්‍රකාන්ති මහත්මිය ඉන් සුළු ප්‍රමාණයක් අලෙවි කොට, තව කොටසක් අසල්වැසියන් හා බෙදා හදා ගනිමින් අවසන් කොටස හොඳින් වියළා කල් තබා ගැනීමට කටයුතු යොදන ලදි. වියළා ගත් මිරිස් ඇයට සය මසකට පමණ ප්‍රමාණවත් විය. මෙසේ ඇය වගාව පිළිබඳව හොඳින් අධ්‍යයනයක යෙදී අමතර පොලිතීන් බඳුන් තවත් මිලට ගැනීමට උත්සුක විය. වැසි ජලයද කළමනාකරණය කරගනිමින් දැන් ඇය මිරිස් වලට අමතරව වෙනත් භෝග වගාවන්ටද යොමුවී තිබේ. මෙම වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකරන නිසා ඇයට දැන් වස විසෙන් තොර ආහාර නිපදවා ගත හැකි වීම නිසා මහත් සතුටෙන් වගාවන්ට තවතවත් නැඹුරු වීමට අදහස් කරයි.

බඳුන් ගත තාක්ෂණය

බඳුන් තුළ වගාවන් නියං කාලයට පමණක් නොව, වැසි බහුල මෝසම් කාලයන්ට මෙන්ම, දේශගුණික විපර්යාස වල අනිටු ප්‍රතිපල ලෙස පැන නගිනා හදිසි ගංවතුර තත්වයන් ඇසුරෙන් ගෙනෙනා වගා හානී උදෙසාද විසඳුම් ගෙනේ. අධික වර්ෂා සහ ගංවතුර තත්වයන් යටතේදී ඉක්මනින්ම ජලයට යටවන පහත්වල ආධාරක සවිකර ඒවා මත එළවළු වගා කිරීම සඳහාද මේ බදුන් තුළ වගා තාක්ෂණය සහන ගෙනදේ.

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, අපාදා කළමනාකරණ අමාත්‍යාංශයත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් එක්ව ඒකබද්ධ වැඩසටහනක් මගින් මෙවැනි කාන්තා ගොවි නිෂ්පාදන අළෙවි කිරීම සඳහා කුරුණෑගල පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ගොවි වෙළඳපොළක් පිහිටුවා ඇත. අතරමදියන්ගෙන් තොරව ගෙවිලියන් විසින්ම තම පරිසර හිතකාමී කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම මේ ගොවි වෙළඳපොළේ සුවිශේෂී ලක්ෂණයකි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »