ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම

2018-02-12 12:11:00       579
feature-top
ගෙවත්තක් වගා කර ගැනීම සම්බන්ධ ව අපට වැදගත් වන මූලික කරුණු සම්බන්ධව පසුගිය ලිපිවලින් අපි සාකච්ඡා කළෙමු. එහි දී අප අවධාරණය කරන්නට යෙදුණේ සැලැස්මක් අනුව ගෙවත්ත වගා කරන්නේ නම් එහි වැඩි සාර්ථකත්වයක් ඔබට ලබා ගත හැකි බව ය.

ගෙවතු සැලැස්ම සම්බන්ධ ව අප අවධාරණය කළේ තම ගෙවත්තේ ස්වභාවය අනුව කෙටිකාලීන, එනම් වාර්ෂික බෝග සහ දිගුකාලීන, එනම් බහු වාර්ෂික බෝග ඉඩමේ ස්ථානගත කිරීම අත්‍යවශ්‍ය බව ය. කෙටිකාලීන බෝග සම්බන්ධව ප්‍රමාණවත් කරුණු මේ දක්වා සාකච්ඡා කළ බැවින්, මෙම අවසන් ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ දිගුකාලීන බෝග වගා කර ගැනීම සම්බන්ධ ව කරුණු ස්වල්පයක් ඔබේ අවධානයට යොමු කිරීමට ය.

දිගුකාලීන බෝග වශයෙන් අප හඳුනාගන්නේ දිගු කාලයක් පුරා ප්‍රයෝජන ලැබිය හැකි පොල්, ගස්ලබු, අඹ, දෙහි, දොඩම්, දෙලුම්, පේර, කෝපි, කතුරුමුරුංගා, මුරුංගා, කරපිංචා ආදී ගස් වශයෙන් වැවෙන බෝගයන් ය. මෙම බෝග ඉඩමේ සෑහෙන ඉඩකඩක් ගන්නා හෙයින්, ඒවා ස්ථානගන කිරීම මනාව සැලසුම් නොවුවහොත්, එළවළු වගාවට අවශ්‍ය ඉඩකඩ ඇහිරී යාමට ඉඩ ඇත.

දිගුකාලීන බෝගවල ඇති විශේෂ ලාභය නම් ඒවා සාපේක්ෂ වශයෙන් කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දීම ය. වර්ෂාව හිඟ වීම, නියමිත ලෙස ජලය සැපයීමට
නොහැකි වීම වැනි කරුණු නිසා කෙටිකාලීන බෝග විනාශ වුව ද වසරක් දෙකක් පැවතුන පසු දිගුකාලීන බෝගවලට ඉඩෝරයන්ට ඔරොත්තු දීමට හැකියාව ඇත.

දිගුකාලීන බෝග සහිත ගෙවතුවල පරමාදර්ශය වශයෙන් සලකනු ලබන්නේ ලෝක ප්‍රකට උඩරට ගෙවතු උද්‍යානය යි (කැන්ඩියන් හෝම් ගාඩන්). වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය.

උඩරට ගෙවතු උද්‍යානයේ මූලික ලක්ෂණ නම් ශාක වියන්, එනම් තට්ටු වශයෙන් වගා කර තිබීම ය. සෑම ශාකයකට ම ආහාර නිෂ්පාදනය කර ගැනීම සඳහා එනම් ප්‍රභාසංස්ලේෂණය සඳහා උපරිම වශයෙන් සූර්යාලෝකය ලබා ගැනීමට හැකි පරිදි බෝග ස්ථර වශයෙන් සැකසීම මෙහි පරමාර්ථය යි. ඒ අතරතුර අනවශ්‍ය තරම් සූර්යාලෝකය පොළවට වැටී පස වියළීම වැළැක්වීමත් මෙයින් සිදු වේ. එක් එක් ශාකය සඳහා අවශ්‍ය සූර්යාලෝකය ප්‍රමාණය සම්බන්ධ ව මනා දැනීමක් තිබීම සුදුසු බෝග තෝරා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

එක් එක් ස්ථර සඳහා ගැළපෙන ශාක වර්ග හඳුනාගැනීම ඉඩමේ ඵලදායිතාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වේ. ඉහළ ස්ථරය සඳහා උදාහරණ නම්, අඹ, බෙලි,
පොල්, කොස්, දිවුල්, නෙල්ලි ආදිය යි. මධ්‍යම ස්ථරය සඳහා උදාහරණ නම්,
කෙසෙල්, දොඩම්, අනෝදා, ගස්ලබු, පේර ආදිය යි. පහළ ම ස්ථරය සඳහා දෙහි,
දෙලුම්, ඇඹරැල්ලා, කෝපි, අන්නාසි වැනි බෝගයන් ය.

මේ කරුණු වඩාත් පැහැදිලි වීම සඳහා සරල උදාහරණයක් දක්වමි. පොල්, අඹ, බෙලි වැනි ශාක කලක දී ඉතා උසට වැවේ. එම ශාක සෙවණෙහි කෝපි, කොකෝවා, කෙසෙල් වැවීමට පුළුවන. එමෙන් ම, සුදුසු ස්ථානවල වඩාත් කුඩා ශාක වන දෙලුම්, අන්නාසි මෙන් ම ඉඟුරු, කහ, කිරිඅල වැනි සෙවණට කැමති ශාක ද වැවිය හැක.

අප සතුව ඇත්තේ සීමිත ඉඩකඩ සහිත ඉඩමක් නම් එයින් උපරිම ඵල ලබා ගත හැකි පරිදි බහුවාර්ෂික බෝග හඳුනාගැනීමට ඉහත දැක්වූ කරුණු උපයෝගී කර ගත හැකි ය. විශාල ඉඩමක නම් අති විශාල ලෙස වැවෙන සම්ප්‍රදායික දේශීය බෝග වැවීම ගැටලුවක් නො වේ. ඇතැම් ශාක වර්ග වැට දිගට වැවීම තුළින් ද යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව ඔබට පෙනෙනවා ඇත. එහෙත් කුඩා ඉඩමක වැඩි වපසරියක් වසා ගන්නා බෝග වැවීම නුවණට හුරු නැත. මේ සඳහා ඇති විකල්පය වන්නේ එතරම් විශාල ලෙස නොවැවෙන බෝග තෝරා ගැනීම ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙනත් තවාන්කරුවන් විසින් සපයන වැඩි දියුණු කරන ලද විලාඞ්, කර්තකොලොම්බන්, ජමනාරං, දොඩම් ආදී බද්ධ කරන ලද පැළ මේ සඳහා සඳහා යොදා ගැනීමට පුළුවන. යම් දැනුමක් ඇත්නම් පැළ ද්‍රව්‍ය ඔබට ම තවාන් කර ගැනීම, බද්ධ කර ගැනීම වඩාත් සුදුසු ය. ඔබේ ගෙවත්තට මී මැසි පෙට්ටියක් එක් කර ගැනීමේ අදහසක් වේ නම් මල් පැණි බහුල වන ශාකයන් ද එක් කර ගත හැකි ය.

ශාක රෝපණය කරන ස්ථාන ඔබේ සැලැස්ම පරිදි විය යුතු ය. සිටුවන බහුවාර්ෂික බෝග ස්ථාවර වීමට වසර දෙක තුනක් ගත වේ. එම කාලය තුළ ඒවා සමඟ ම එළවළු, කහ, ඉඟුරු වැනි බෝග වැවීමට කිසිදු බාධාවක් නැත. වැල් ශාක, එනම් කරවිල, මෑ ආදියට අවශ්‍ය ආධාරකයන් ලෙස දිගුකාලීන බෝගවලට යම් කාලයක් ක්‍රියා කළ හැක. එමෙන් ම ඒ ඒ පැළ වර්ග සමග සැසඳෙන වාර්ෂික බෝග හඳුනාගන්නේ නම් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඔබට ඉඩ ලැබේ.
දිගුකාලීන බෝගවල ශක්තිමත් මූල මණ්ඩලයක් ඇති වන හෙයින් ඒවා පැළ කිරීමට සුදුසු පරිදි බිම සකසා ගත යුතු ය. උදාහරණයක් ලෙස පොල් පැළයක් සඳහා නම් අඩි 2×2×2 ප්‍රමාණයේ වළක් කපා කොම්පෝස්ට් මිශ්‍ර ලිහිල් පස්වලින් පුරවා පැළ කළ යුතු ය. අනෙකුත් පැළ සඳහා ද නිර්දේශිත පරිදි පොළව සැකසීම අවශ්‍ය වේ.

දිගුකාලීන බෝග සඳහා අධික ජල ප්‍රමාණයක් මුල් කාලයේ දී වුවමනා ය. එම නිසා වඩාත් යෝග්‍ය ක්‍රමය වන්නේ වර්ෂා සමය තුළ පැළ සිටුවීම ය. වැසි වසින මාස 2-3 කාලය තුළ පැළය හොඳින් මුල් අල්ලා ස්ථාවර වූ විට වියළි කාලයේ මඳ ජලය යෙදීමකින් සහ ජල කළමනාකරණය මගින් ඒවා ආරක්ෂාකර ගත හැකි ය. වසුන්යෙ දීිමෙන් ද ජල සංරක්ෂණය කර ගත හැකි ය.

සාමාන්‍යයෙන් සියලුම පැළ ද්‍රව්‍ය ගවයින්ගෙන් සහ අධික සුළඟින්, අධික හිරු තාපයෙන් ආරක්ෂා කර ගත යුතු ය. මේ සඳහා ඔබට පැළය වටා කණු කීපයක් සිටුවා දෙපස විවර කර ගත් පරණ පොහොර කවර වැනි ආවරණයකින් වසා ගත හැකි ය.

දිගු කාලීන බෝගවල උපරිම ඵල ලබා ගත හැක්කේ මනා නඩත්තුව තුළිනි. පළිබෝධ, රෝග හානිවලින් බේරා ගැනීම සඳහා නිතර අවධානය අවශ්‍ය වේ. රෝගී ශාක කොටස් කපා ඉවත් කිරීම, දිලීර රෝග සඳහා නිසි කලට ප්‍රතිකර්ම කිරීම තුළින් හානි අවම කර ගත හැකි ය.

ඵලදාව ලැබීම ආරම්භ වූ පසු වාර්ෂික නඩත්තුව ගැන සැලකිලිමත් විය යුතු ය. අඹ, දෙහි, දොඩම් වැනි ශාකවලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වර්ෂා කාලයට පෙර කප්පාදු කිරීම වැදගත් වේ. එසේ ම අනතුරුව ඛනිජවලින් පෝෂිත කොම්පෝස්ට් සහ හැකි නම් දියර පෝර ද යෙදීම කළ යුතු ය.

වස විසෙන් තොර, එමෙන් ම ගෘහයට අවශ්‍ය පෝෂණය සාර්ථක ලෙස ලබා ගත හැකි ගෙවත්තක් සකසා ගැනීමට මෙම තොරතුරු ඔබට උපකාරී වේවා යන්න අපේ පැතුම යි.

courtesy : mahamegha.lk


More News »