අතමිට සරැ කරන පතෝල වගාව

2018-03-16 11:13:00       942
feature-top
පතෝල සෑම දෙනාටම ගුණදායක ජනපි‍්‍රය එළවළු භෝගයකි. ආයුර්වේදයට අනුව ඕනෑම රෝගියෙකුට ආහාරයට දියහැකි එළවළුවක් ලෙස නිර්දේශකර ඇත. ව්‍යංජනයක් වශයෙන් මෙන්ම අමුවෙන්ම සම්බෝලයක් වශයෙන් ද ආහාරයට ගතහැකි පතෝල වැඩි වශයෙන් පහතරට වැවෙන එළවළු භෝගයකි.මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා උස් ප‍්‍රදේශවල වගා කළ හැකි පතෝල උණුසුම් දේශගුණික තත්වය පි‍්‍රයකරයි. වියළි කලාපයේ මෙම භෝගය වගාකරනු ලබන්නේ යල් කන්නයේදීය. තෙත් කලාපයේ යල – මහ දෙකන්නයේම වගා කළ හැකිය. පතෝල භෝගය උණුසුම් තත්ත්වයට පි‍්‍රයකරන භෝගයක් නිසා වර්ෂා කාලය මඳක් මගහැර වගාකිරීමෙන් අස්වනු ලබාගත හැකි ප‍්‍රමාණය වැඩිය.

පස හා බිම් සකස් කිරීමහොඳින් ජලය බැසයන කාබනික ද්‍රව්‍ය මනාසේ අඩංගු පසක් මෙම වගාවට යෝග්‍යය. එවැනි බිමක් හොඳින් කොටා පෙරලා කැට පොඩිකර සෙන්ටි මීටර්30*30*30 ප‍්‍රමාණයට වලවල් සකසා ගන්න. ඉන්පසු මෙම වලවල් දිරාපත්වූ කාබනික ද්‍රව්‍ය සමඟ මතුපිට පස් හා මිශ‍්‍රකර පුරවා ගෙන නිර්දේශිත බීජ වර්ගයකින් සිටුවිය හැකිය. මෙසේ බීජ සිටුවන්නට පළමුව එනම් දින දෙකකට කලින් මූූලික පොහොර ලෙස නිර්දේශිත ප‍්‍රමාණයෙන් යුරියා, ති‍්‍රත්ව සුපර් පොස්පේට්, මියුරියේට් ඔප් පොටෑස් මිශ‍්‍රණය යොදන්න. ඊට පසුව දින දෙක හෝ තුන ඉකුත්වූ විට එලෙස සකස් කරගත් වලවල්වල එක වලක බීජ තුන බැගින් දමන්න. බීජ තුන එකිනෙකට තරමක් දුරින් සෙන්ටි මීටර් 03 ක් පමණ ගැඹුරින් සිටුවා ජලය වත්කළ යුතුය. දින 5 – 8 ක් අතරදී බීජය ප‍්‍රරෝහණය වනු ඇත. හෙක්ටයාර් එකකට මෙසේ සිටුවීම සඳහා අවශ්‍යවන බීජ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 04 කි.

සිටුවීම සඳහා නිර්දේශිත ප‍්‍රභේදටී. ඒ. 02 ප‍්‍රභේදය:- මෙම වර්ගයේ කරල් මීටරයකට වඩා දිගය. අළු සුදු පැහැය. මෝරන විට ක‍්‍රමයෙන් කරවල්වල තද කොළ පැහැති ඉරි මතුවෙයි.එම්. අයි. (කෙටි) වර්ගය:- කරල් මීටර් භාගයක් පමණ දිගය. කරල් අළු සුදු පැහැයක් ගනී.තින්නවෙලි ප‍්‍රභේදය:- මාංසල බැවින් වැඩි මෙම වර්ගයේ කරලක දිග මීටර් 3/4ක් පමණ වේ. අළු සුදු පැහැයක් ගනී. මෝරාගෙන එනවිට ක‍්‍රමයෙන් සුදු පැහැති ඉරි දිස්වේ.වළවල්වල බීජ ඇට දැමීමෙන් පසුව එම බීජ පැළවී දින 14 ක් පමණ ගත වූ විට එක වලක නිරෝගී පැළ දෙකක් පමණක් ඉතිරිවන සේ වැඩි පැල ගලවා දැමිය යුතුය.

මැසි ගැසීමපතෝල ශක්තිමත් මැස්සකට යැවීමෙන් වැඩි වාසියක් අත්කරගත හැකිය. සාමාන්‍යයෙන් මීටර් 2 ක් පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් හුරුකර ගැනීම යෝග්‍යය. මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ පන්දලමට පහතින් වැළෙහි ප‍්‍රධාන කඳේ හටගන්නා පාර්ශ්වික අතු කපා ඉවත් කිරීමයි. එසේ ඉවත් නොකිරීමෙන් වැල පන්දලමට යවා ගැනීමෙන් අත්වන වාසි නොලැබේ.

පොහොර යෙදීමකාබනික පොහොර යොදන ගමන්ම රසායනික පොහොර යෙදීමද අවශ්‍යවේ. කෙසේ වෙතත් රසායනික පොහොර පමණක් භාවිතා කරනු ලබන්නේ් නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පහත පරිදි ඒ සඳහා පොහොර නිර්දේශ කර තිබේ. වගා හෙක්ටයාර් එකකට අවශ්‍ය පොහොර ප‍්‍රමාණයන් වශයෙනි.මූූලික පොහොර යෙදීමේදී යුරියා කිලෝ ග‍්‍රෑම් 15 ක්ද ති‍්‍රත්ව සුපර් පොස්පේට් කිලෝ ග‍්‍රෑම් 200 ක්ද මියුරියේට් ඔප් පොටෑෂ් කිලෝ ග‍්‍රෑම් 60 ක්ද මිශ‍්‍රකර යෙදීම. දෙවන පොහොර යෙදීම කළ යුත්තේ පැළ මතුවී සති හතරකිනි. එවිට යුරියා කිලෝ ග‍්‍රෑම් 75 ක් සහ මියුරියේට් ඔප් පොටෑෂ් කිලෝ ග‍්‍රෑම් 60 ක් මිශ‍්‍රකර යෙදීම සුදුසුය. තුන්වන පොහොර යෙදීම පැළ මතු වී සති 08 ට පසුව යුරියා කිලෝ ග‍්‍රෑම් 15 ක්ද මියුරියේට් ඔප් පොටෑෂ් කිලෝ ග‍්‍රෑම් 60 ක්ද මිශ‍්‍රකර යෙදීම නිර්දේශ කැරේ.

වල්පැළෑටි පාලනය හා ජල සම්පාදනයසාමාන්‍යයෙන් වල්පැළෑටි පාලනය කළ යුත්තේ බෝගය පැළවූ මුල් අවස්ථාවේ සිටය. වැල් මනාසේ වර්ධනය වී මැස්ස ආවරණය කර ගැනීමෙන් අනතුරුව වල්පැළෑටි අඩුවීමක් දැකිය හැකි අතර එම වල් පැළෑටි උදුරා ඉවත්කිරීම අපහසු නැත.කෙසේවෙතත් ජල සම්පාදනයේදී නම් බීජ ඇට වළවල්වල සිටුවීමත් සමඟ දිනපතාම වාගේ ජලය දැමිය යුතුය. ඊට පසු වියළි ස්වභාවය අනුව වරින්වර අවශ්‍යතාවට ගැළපෙනසේ ජලය දැමීම යෝග්‍යය.

කෘෂිහානි මර්දනයඉල් මැස්සා විසින් කරන හානිය මෙහිදී බරපතලය. ඉල් මැස්සාගේ කීටයා කරල් තුළ සිට කරන හානිය නිසා කරල් කුණු වී යයි. එම නිසා කරල් කුඩා අවදියේදීම පොලිතින් කවරවලින් ආවරණය කිරීමෙන් එම හානිය වළක්වාගත හැකිවන අතර දරුණු ලෙස මෙම හානිය පවතින්නේනම් පෙන්තියොන් වැනි නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතුවෙයි. මෙම කෘමී හානියට අමතරව අවුලකපෝරා කුරුමිණියන් ද හබල්පාද මකුණන් ද එපිලැග්නා කුරුමිණියන් ද වගාවට හානිකරන කෘමීන් වෙයි. මෙම කෘමිහානි වලට අමතරව යටිපුස් රෝගයත් පිටිපුස් රෝගයත් පතෝල වගාවේදී දැකිය හැකිය. මේ තත්ත්වය වළක්වා ගැනීමට නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කළ යුතු වෙයි. මූූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා 30 කාබපියුරාන් කැට ග‍්‍රෑම් 2 ක් පමණ බීජ සිටුවන අවස්ථාවේදී හැම වලකටම යෙදීමෙන් මගහරවාගත හැකිවන අතර බෝග මාරුව හා කාබනික පොහොර යෙදීම මගින්ද එය වළක්වාගත හැකිය.

අස්වැන්න ලබාගැනීමවගාව ආරම්භකර දින 60 – 75 අතර අස්වනු නෙළීම කළ හැකිය. ඉන්පසු දින හතරකට වරක් බැගින් කරල් කපා ගැනීමට හැකිවෙයි. මෙසේ නෙළාගත් අස්වනුවලට තුවාලවීම හා තැලීම වළක්වා ගැනීමට ලණුපැදුරු වලින් හෝ අමු පොල්අතු වලින් හෝ කෙසෙල් පතුරු වලින් සකස් කරගත් ආවරණයක් උදව් කරගෙන මිටි බැඳ වෙළෙඳ පොළට යැවීමෙන් දින හත අටක් කල් තබා ගනිමින් අලෙවි කිරීමට හැකියාව ලැබේ.(මෙම ලිපියට අදාල තාක්ෂණික කරුණු හා මූලාශ‍්‍ර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයකින් හා කෘෂිකර්ම උපදේශක එස්. එම්. උපසේන මහතා විසින් සපයන ලදී.)


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »