ඉඟුරු වගාව

2018-03-19 10:59:00       116
feature-top
සුදුසු දේශගුණය

මුහුදු මට්ටමෙන් මීටර් 1700 දක්වා උස් බිම් ප්‍රදේශවල වගාකල හැකි මෙම බෝගය සදහා අවශ්‍ය වන වාර්ෂික වර්ෂාපතනය මි.මී 2500-3700 පමණ වේ.  මෙම බෝගය සදහා නියං කාලවලදී ජලසම්පාදනය කල යුතුවේ.

පොල් වගාවන් තුල අතුරු බෝගයක් ලෙස වගාකල හැකි මෙම බෝගය වියළි කලාපයේ ගෙවතු වල වගා කල හැකිවේ.

මද ආම්ලිකතාවයකින් යුක්ත හොදින් ජලය බැස යන ලෝම පසක් මෙම බෝගය සදහා වඩාත් සුදුසුයි.

ප්‍රභේද

දේශිය වර්ගය            - කුඩා රෛසෝමයකින් යුක්ත මෙම ප්‍රභේදය දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනයේදී බහුලව යොදා ගැනේ.

චීන වර්ගය     - දෝසි සෑදීමට සහ වෙනත් ආහාර වර්ග පිළීයෙල කර ගැනීමේදී යොදාගන්නා මෙම වර්ගය රෛසෝමය තරමක් විශාලය.

සිටුවීම

මාර්තු සිට මැයි මාසය දක්වා කාලය අළුතෙන් වගාවක් ඇරඹීමට          වඩාත් සුදුසු කාලය ලෙසට දැක්විය හැක. හෙක්ටයාර් 1ක වගාවක් සදහා රෝපන ද්‍රව්‍ය කි.ග්‍රෑම් 2500-3000 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.  මව් අලයෙන් වෙන්කර ගත් අංකුර 2ක් 3ක් ඇති තෘතීයික ඇගිලි සිටුවීම සදහා යොදාගනී.  සිටුවීමට පෙර සෙ.මී. 25-30ක් අතර පමණ ගැඹුරට බිම සී සි හොදින් කැට පොඩි කර කෙෂ්ත්‍රය සකස් කර ගත යුතුයි.  ඉන්පසු සෙ.මී 60ක පරතරයට වැටී සහ කානු සකස් කර එම කානුව දිගේ සෙ.මි. 20 සිට 30 පරතරය ඇතිව අල කැබලි තබා පස්වලින් වසනු ලැබේ.

ඉන්පසු මුළු කෙ‍ෂ්ත්‍රයම පොල් අතු පිදුරු හෝ කොහුබත් වැනි වසුන් දුව්‍යයක් යොදා ආවරණය කල යුතුයි. 

පොහොර යෙදීම

මූලික පොහොර ලෙස බිම් සකස් කරන අවස්ථාවේදී,

යූරියා කි.ග්‍රෑම් 75ක් /හෙක්. 1ට

සැපොස්පෝස්පේට් කි.ග්‍රෑම්. 230ක් / හෙක්. 1ට

මියුරියෙට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම් 66ක් හෙක්.1ට යෙදිය යුතුය අතර,

සිටුවා මාස 2,4 සහ 6 යන කාලවලදී මතුපිට පොහොර ලෙසට යූරියා කි.ග්‍රෑම් 75ක් සහ මියුරියෙට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ. 33ක් හෙක්ටයාර් 1ට යෙදිය යුතුය.

ජල සම්පාදනය

වියලි කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවලදී අඩුම තරමේ සති දෙකකට වරක්වත් කෙෂ්ත්‍රය හොදින් තෙමෙන පරිදි ජල සම්පාදනය කල යුතුය.

වල් මර්ධනය

වල් පැල වැඩීමේ තත්ත්වය මත දෙතුන්වරක්  වල් පැල වැඩීමේ තත්ත්වය මත දෙතුන්වරක් වල් නෙලීම කල යුතු අතර, මේ සදහා උදළු ගෑම කල හැක.  මතුපිට පොහොර යෙදීමට කලින් හැම විටම වල් මර්ධනය කල යුතු වේ.

රෝග හා පළිබෝධ

ඉඟුරු වලට බහුලවම හානි ගෙන දෙන කෘමියා ලෙසට කද විදින දළඹුවා හැදින්විය හැක. මෙම කෘමියා ඉඟුරු රෛසෝමය විදීම නිසා හානි පැමිණේ.  පසුව මෙම තුවාල ද්විතික ආසාදනවලට ලක්වී රෛසෝමය කුණුවී යා හැක.  වගාව පිහිටුවන අවස්ථාවේදී කාබෝෆියුරාන් 3% කැට හෙක්ටයාර් 1කට කි.ග්‍රෑම් 17-22 අතර ප්‍රමාණයක් යෙදීමෙන් හෝ හානිය ඇති වන අවස්ථාවලදී ඩයිමිතේඒටි වැනි කාමිනාශකයක් යෙදීමෙන් පළිබෝධකයා පාලනය කල හැක.

මෘදු කුණුවීම

පීතියම් වර්ගයේ දිලීර නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ.  රෝගය ආසාදනය වන්නේ පැලවල ගෙල ප්‍රදේශයේ වන අතර, පසුව වායව කොටස් කහ පැහැයට හැරේ.  රෛසෝමය මෘදු කුණුවීමකට ලක් වේ.

මීට අමතරව සුඩොමොනාස් සොලනෙසියුම් දිලීරය නිසාද මෘදු කුණුවීම ඇතිවිය හැක.  මෙහිදී ද ශාකයේ වායව කොටස් කහ පැහැයට හැරෙන අතර රෛසෝමය මෘදු කුණුවීමකට ලක්වේ.

මර්ධනය

හැමවිටම නිරෝගී වගාවකින් ලබාගත් රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් රෝගය බෝවීම වලක්වාගත හැක. ඊට අමතරව හොදින් ජලය බැසයන පරිදි කානු යොදා කෙෂ්ත්‍රයේ ජල වහන තත්ත්වය දියුණු කිරීමෙන් රෝගය පාලනය කල හැක.

රෝගය වැලදුන පසු රෛසෝමය ගලවා ‍කෙෂ්ත්‍රයෙන් ඉවත් කර පුළුස්සා විනාශ කිරීමෙන් රෝගය බෝවීම පාලනය කල හැක.

රෝගය ඇති අවස්ථාවලදී කැප්ටාන් වැනි කෘමිනාශකයකින් ග්‍රෑම් 6ක් ව.මීටර් 1කට වශ‍යෙන් දිලීර නාශකයකින් ප්‍රතිකාර කළ හැක.

පත්‍ර අංගමාරය

ක්ලෙක්ටොට්‍රකම් කැප්සීස් හේතුකොට ගෙන මෙම රෝගය වැළදේ.  මෙම රෝගය වැලදුන විට පත්‍රවල දුඹුරු කහ පැහැති පුල්ලි ඇතිවේ.  හානිය බරපතල නම් මතු දැක්වූ දිලීර නාශකයම යෙදිය හැක.

අස්වනු නෙලීම

අල මේරීමේදී වායව  කොටස් කහ පැහැයට හැරී මැලවී යයි.  මේ සදහා සිටුවා මාස 8-10ක් අතර කාලයක් ගතවේ.  වායව කොටස් කහ පැහැවී මැලවී ගිය පසු අස්වනු නෙලිය  හැකි අතර අවශ්‍ය නම් අස්වනු නෙලීම තවත් ප්‍රමාද කල හැක.

අල ගැලවීම උදැල්ලක් භාවිතයෙන් හෝ මුල්ලුවක් ආධාරයෙන් කල හැක.

හෙක්ටයාර් එකක වගාවකින් අස්වැන්න කි.ග්‍රෑම් 10ල000-25ල000 අතර ප්‍රමාණයක් ලබා ගත හැක.

පසු අස්වනු ප්‍රතිකාර

රෛසෝම (අල) හොදින් සුද්ද කර ගබඩාව තුලම වියලීමට හැරිය හැක.  පිට පොත්ත මෘදු වීම සදහා එක් රැයක් ජලයේ ගිල්වා තබා අලයට හානි නොවන පරිදි පිට පොත්ත ප්‍රවේශමෙන් ඉවත් කල යුතුය. මොසේ සකස් කරගත් අල ජලයේ හොදින් සෝදා දින 6ක් පමණ උදෑසන හිරු එළියෙන් වේලාගත යුතුයි.

අළුහුණු ග්‍රෑම්. 500ක් ජලය ලී.5ක දියකර එම දියරවලින් ඉගුරුඅල ප්‍රතිකාර කර හොදින් වියලුණු පසු වියළී  ගබඩා තත්ත්ය යටතේ ගබඩා කර තැබිය හැක.  වියළි ඉගුරු කි.ග්‍රෑ. 1ක් නිපදවීමට අමු ඉගුරු කි.ග්‍රෑම් 6ක් අවශ්‍ය  වේ.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »