එළවළු තවාන් පාලනය

2018-03-23 10:56:00       667
feature-top
ඉතා කුඩා බීජ සහිත බොහෝ එළවළු බෝග වගා කිරීමේදී, පළමුව තවානක එම බීජ වගාකර පසුව කෙෂ්ත්‍රයේ සිටුවීම සදහා යෝග්‍ය අන්දමේ පැල නිපදවා ගනු ලැබේ.  මේ අන්දමට තවාන් සකසා වගා බිමෙහි සිටුවීමට සුදුසු ආකාරයේ  පැල නිපදවා ගනු ලබන බෝග වන්නේ බටු, මිරිස්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා, මල් ගෝවා, ලීක්ස්,, බීට්, නෝකෝල්, සලාද ආදායයි.  කැරට් බීජ ද ඉතා කුඩාවුවත් මේ අන්දමට තවාන් සකස්කර පැල නිපදවා ගැනීමක් සිදු නොවේ.  අස්වැන්න ලෙස ලබාගන්න කැරට් අලය, පැලයේ මුදුන් මුල නිසා එයට හානි සිදුවුවහොත් අලය විකෘති වී වෙළද අගය අඩුවිය හැකිවීම මෙයට හේතුවයි. මෙයට අමතරව, විශේෂ හේතූන් මත විශාල බීජ සහිත එළවළු බෝග සදහා ද විශේෂ තවාන් ක්‍රම උපයෝගී කර පැල නිපදවාගත හැකිය.

කුඩා කාලයේදී පහසුවෙන් පැල රැකබලා ගත හැකිවීම, ශක්තිමත් හා නිරෝගී පැල වැඩි සංඛ්‍යාවක් නිපදවා ගත හැකිවීම සහ, ඉඩමේ එකවර බීජ සිටුවීම සදහා අවශ්‍ය වන බීජ පුමාණයට වඩා අඩු බීජ ප්‍රමාණයකින් අවශ්‍ය පැල සංඛ්‍යාව නිපදවා ගැනීමේ ප්‍රධාන වාසි වශයෙන් සැලකිය හැකිය.

ප්‍රධාන එළවළු තවාන් වර්ග

එළවළු පැල තුල නිපදවීමට යොදවා ගත හැකි තවාන් වර්ග කිහිපයක් ඇත.  එහෙත් ඒවා සකස් කරන ආකාරය පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ 2කට බෙදා වර්ග කල හැක.

(අ)       පිහිටි බිමෙහි සකස් කරනු ලබන තවාන්.

            උදා- උස් තවාන්, ගිල්වු තවාන්

(ආ)      තවාන් මිශ්‍රණයක් යොදා ගනිමින් සකස් කරන තවාන් .

උදා-නොරිදෝකෝ (කුට්ටි) තවාන, බදුන් තවාන, පෙට්ටි තවාන, ට්‍රේ තවාන, අපතේ යන ද්‍රව්‍ය(යෝගට් කෝප්ප, පොල්කටු, ටින් වැනි) වලින් සකස් කරන තවාන් .

දැනට එළවළු වගාකරුවන් බහුල ලෙසම යෙ‍ාදාගනු ලබන්නේ උස් තවාන් වන අතර බදුන් තවාන්, නොරිදෝකේ තවාන් වැනි තවාන් ක්‍රම උඩරට ප්‍රදේශයේ සමහරක් වගා කරුවන් අතර ජනප්‍රිය වෙමින් පවතී. හරිතාගාර තාක්ෂණයක් සමගම හදුන්වා  දෙනු ලැබූ තවාන් ක්‍රමයක් ලෙසින් ට්‍රේ තවාන් හදුන්වා දිය හැක.

පිහිටි බිමෙහි සකසනු ලබන තවාන්

සුදුසු බිමක් තෝරා ගැනීම

සිටුවීම සදහා සුදුසු නිරෝගී දිරිමත් පැල වැඩි සංඛ්‍යාවක් නිපදවා ගැනීම කෙරෙහි බලපාන සාධක අතුරින් පළමුවැන්න වශයෙන් තවාන් දැමීම සදහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම සැලකිය හැකිය.

නොකඩවා එළවළු වර්ග වගා කරන ලද බිමක් තවාන සදහා කිසිවිටෙකත් තෝරා නොගත යුතුය.  එසේම, එම ස්ථානයට දවසේ වැඩි කාලයක් නොකඩවා හිරුඑළිය ලැබීමත්, එහි අනවශ්‍ය අන්දමට ජලය රදා නොපැවැත්වීමත් බෙහෙවින් වැදගත්ය.  මෙයට අමතරව පසෙහි ගල් බොරළු ආදිය අඩුවෙන් පැවතීම, අපහසුවකින් තොරව ජලය ලබා ගැනීමට හැකි ස්ථානයක තවාන සැකසීමද කළ යුතුය.  පාලනය කිරීමට අපහසු ඉළුක්, ඇටවරා, කලාදුරු වැනි කැරදරකාරී වල් පැලෑටි එම ස්ථානයෙහි නොපැවැතීම ද වැදගත්ය.

තවාන් බිම සැකසීම
බීජ තවාන් කිරීමට සති 3-4කට පමණ පෙර සිට තවාන සකස් කිරීමට  බලාපොරොත්තු වන ස්ථානයෙහි වල් පැලෑටි ආදිය ඉවත්කර සෙ.මී. 20 පමණවත් ගැඹුරකට පස පෙරළිය යුතුය.  මේ අන්දමට පස පෙරළීමේදී මතුවන ගල්, බොරළු ආදිය ඉවත් කළ යුතුය.

පළමුව පස් පෙරළීමට සතියකට පමණ පසු දෙවන වරටද එම ස්ථානයෙහි පස පෙරළා පස තෙත් කළ යුතුය.  මේ අන්දමට කිහිප වරක් පස පෙරළීමෙන් එම ස්ථානයෙහි මතුවන වල් පැලෑටි විනාශ වේ.  මෙයට අමතරව යටි පස හිරුඑළියට නිරාවරණය වීමෙන් පසෙහි සිටිය හැකි රෝගකාරක ජීවීන්ද පාලනය වේ.
උස් තවාන් මගින් එළවළු පැල නිපදවීම

උස් තවානේ පරිමිතියන්

වැසි වැඩි කාල වලදී හා මැටි වැඩි පස් සහිත ප්‍රදේශ වලදී යොදා ගැනීමට සුදුසු තවාන් ක්‍රමයකි.  එසේ වුවත් වැසි අඩු කාල වලදී හා වෙනත් පාංශු ලක්ෂණ සහිත ප්‍රදේශ වලදී පවා මෙය යොදා ගැනීමට  හැකිවීම මත මෙම තවාන් ක්‍රමය දිවයින පුරා සිටින එළවළු වගාකරුවන් අතර ජනප්‍රිය වී ඇත.

පාලන කටයුතු වල පහසුව උදෙසා උස් තව‍ානේ පළල සෙ.මී. 90 නොඉක්මවන ලෙස සකස් කල යුතු වේ.  අවශ්‍ය වන ප්‍රමාණයට දිග වෙනස් කර තවාන සක්ස කර ගත හැක.  තවානේ සම්පූර්ණ  උස සෙ.මී. 15ක් පමණ වන අතර එයින් පළමු සෙ.මී. 10 තවානේ පිහිටි පස් වලින් සකස් කර ගත යුතු වේ.  එම පස් තට්ටුව මතුපිටින් සෙ.මී 5ක පමණ ගනකමට පස් මිශ්‍රණයක් යෙදිය යුතුවේ.  මෙය හලන ලද ගොම හා හලන ලද මතුපිටින් පස් මිශ්‍රණයකින් සකස් කරගත හැක.  උස් තවාන් පාත්ති එකකට වැඩි ගණනක් සකස් කරන්නේ නම් පාත්ති දෙකක් අතර සෙ.මී. 30ක පරතරයක් වත් තැබිය යුතුවේ.

තවාන් පාත්ති ජීවානුහරණය

සකස් කර ගත් උස්  තවානට බීජ යෙදීමට පෙර එහි  ඇති පාංශු රෝගකාරකයින් අවම කර ගැනීම සදහා තවාන ජීවානුහරණය කළයුතු වේ.  මේ සදහා යොද‍ා ගත හැකි ක්‍රම කිහිපයක් ඇත.

(අ)       පිළිස්සීම

(ආ)      සූර්යාලෝකය ආධාරයෙන් ජීවානුහරණය

(ඇ)      රසායනික ජීවානුහරණය

(ඈ)      ධූමාකරණය

(අ)     පිළිස්සීම

 සකස්කර ගත් තවානට ජලය එකතු කර තෙත් කරගන්න.  වැඩිපුර ඇති ජලය බැසයාමට පැයක පමණ වේලාවක් තැබීමෙන් පසු එය පිලිස්සීමට යොදාගත හැක.

පිදුරු හා දහයියා තට්ටු ලෙස අතුරා තවාන සකස්කර ගන්න.  ඉනුපසු සුළං හමන දිසාවට විරුද්ධ දිසාවෙන් යටින් ඇති වීදුරු තට්ටුවට ගිනි ඇවිලීම කළ යුතුය.

මෙම ක්‍රමය මගින් තවාන තැම්බීමක් සිදුවන අතර එමගින් දියමලන් කෑමට හේතුවන රෝගකාරකයින් හා වෙනත් රෝගකාරකයින් ද වල් පැලෑටි බීජද විනාශ වේ.

(ආ)    හිරුඑළිය ආධාරයෙන් ජීවානුහරණය

 සකස් කර ගත් තවාන ජලයෙන් තෙත් කර ගැනීම පළමුව කළ යුතුය.  ඉන්පසු විනිවිද පෙනෙන පොලිතීන් ස්ථරයකින් තවාන සමුපූර්ණවම ආවරණය කර එය තෙත් පස් වලින් සීල්කර ගන්න.  මෙලෙස සකස්කර ගත් තවාන සති සති 2ක පමණ කාලයක් නොකඩවා සූර්යාලෝකයට නිරාවරණය කර තැබීම මගින් තවාන ජීවානුහරණය වේ.

(ඇ)   රසායනික ජීවානුහරණය
  මීට ඉහත දී විස්තර කළ ජීවානුහරණ ක්‍රම දෙකම භාවිතා කිරීමට අපහසු වන අවස්ථාවන් හිදී දිලීර නාශක භාවිතා කරමින් තවාන ජීවානුහරණය කර ගැනීමට පුළුවන.  උදා. කැප්ටාන් හෝ තිරාම් වැනි දිලීර නාශක වලින් එක් වර්ගයක් (වගු අංක 1හි)  සදහන් කැන ආකාරයට ජලයේ දියකර සාදාගත් ද්‍රාවනය මල් බාල්දියක් භාවිතා කරමින් තවාන් පස හොදින් තෙත්වන ලෙසට යොදන්න.  මෙම රසායනික ප්‍රතිකාරක භාවිතා කර දින 1-2ක් ගතවූ පසු බීජ යෙදීම ඩවාත් සුදුසුය.

(ඈ)    ධූමාකරණය

දුම්කොළ තවාන්කරුවන් විසින් යොදාගනු ලබන ජීවානුහරණ ක්‍රමයක් වන මෙය මගින් පාංශු රෝගකාරකයින්ට අමතර‍ව වල් පැලෑටි බීජ ද වට පනුවන් ද පාලනය වේ.

බීජ ප්‍රතිකාර කර ගැනීම

ආනයනය කරනු ලබන එළවළු බීජ වර්ග බොහෝ විට රසායනික හෝ වෙනත් උපක්‍රම යොද‍ා ප්‍රතිකාර කිරීමෙන් පසු නිකුත් කර ඇත.  එහෙත් දේශීයව නිපදවා ගන්නා බීජ තවාන් කිරීමට ප්‍රථම දිලීර නාශකයන් සමග හොදින් කලවම් කර ගෙන සිටුවීම කළයුතු වේ.

මේ මගින් බීජ මගින් පැතිරෙන රෝග කාරකයින් මගින් තවානේදීම බීජ පැල වලට රෝග ඇති කිරීම අවමකර  ගත හැකිය.
බිජ යෙදීම

පළමුව තවාන මතුපිට ඇති පස් මිශ්‍රනය ලෑලි පටියක් ආධාරයන් හොදින් තදකර මට්ටම් කර ගැනීම අවශ්‍ය වේ.  මෙම ක්‍රියාව වඩාත් සාර්ථක වන්නේ තවානේ ප්‍රශස්ථ තෙතමන තත්ත්වයන් පැවතුනහොත් පමණි.  ඉනපසු කුඩා රිප්ප පටියක් ආධාරයෙන් බෝගයට ගැලපෙන පරතරයන් ඇතිවන ලෙස හා නොගැඹුරින් කුඩා ඇලි සකසා ගන්න.

පේලි අතර පරතරය

පේලියක ගැඹුර

කුඩා බීජ

විශාල බීජ

සෙ.මී. 10

(අඟල් 4)

සෙ.මී. 12

(අඟල් 6)

මි.මී. 6

(අඟල් ¼)

මි.මී. 12

(අඟල් ½)

මෙම ඇලි දිගේ පේලියට ඒකාකාරීව හා තුනීව වැටෙන සේ බීජ යෙදීම කලයුතු වේ.  පේලිවලට යෙදු බීජ වසා දැමීමට වඩාත් යෝග්‍ය වන්නේ පසු පුළුස්සා ගක් (ජීවානුහරණය) තවාන් පාත්තියකින් ලබාගත් පසු වේ.  මේ නිසා තවාන පුලුස්සා එහි රොඩු හා අළු ඉවත් කර ගත් පසු තවානේ මතුපිටින් පසු ටිකක් මේ සදහා  ලබා ගැනීම වඩාත් යෝග්‍ය උපක්‍රමය වේ.  බීජ යෙදූ පසු එය වැසෙන ලෙස පේලී වලට මෙම පසු මිශ්‍රනය යොදා නැවත ලෑල්ලකින් තදකර ගැනීම කලයුතු වේ.

වසුන් යෙදීම

තවානට බීජ දැමු පසු එය හොදින් පැලවීමටත්. බීජ වල ආරක්ෂාවත් සදහා තවාන මතුපිට ආවරණයක් යෙදීම අවශ්‍ය වේ.  මෙම ආවරණය වසුන ලෙසින් හැදින්වෙන අතර, ඒ සදහා ගෝනි හෝ දිරාපත් නොවූ පිදුරු යොද‍ාගත හැකිය.   පිදුරු යොදාගන්නේ නම් ඒ සදහා අළුත් පිදුරු යොද‍ා ගැනීම වඩාත් උචිත වේ.  වරක් භාවිතා කල ගෝනි යොදා ගන්නේ නම් ඒවා හොදින් පිරිසිදු කර තද අව්වේ වියලා ගැනීම වඩාත් සුදුසුය.

ආවරණය සැපයීම

වසුන් ඉවත්කල පසුව තද වර්ෂාව මගින් ළපටි බීජ පැල වලට හානි ඇතිවිය හැක.  එය වලකා ගැනීමට නැමෙන සුළු කෝටුවලින් සකසා ගත් ආරුක්කුවක ආධාරයෙන් විනිවිද පෙනෙන පොලාතීන් ආවරණයක් සකස්කර ගත යුතුය.

ජලය සැපයීම

තවානේ ආරම්භ අවස්ථාවේ දී මල් බාල්දි මගින් ජලය සැපයීම වඩාත්ම උචිත ක්‍රමය වේ.  වාරි ජලයෙන් තවාන ගිල්වා ජලය සැපයීම කිසිදුවිටක නොකල යුතුය.

පවතින කාලගුණ තත්ව මත දිනකට වාර 1-2 පමණ ජලය සැපයීම කළ යුතුය.  එහෙත් ජලය වැඩිපුර යෙදීමෙන් වැලකිය යුතුය.

පළිබෝධ නාශක භාවිතය

රෝග වලින් තවාන ආරක්ෂා කර ගැනීමට නිර්දේශිත දිලීර නාශක භාවිතා කලයුතු වේ.  මීට අමතරව තවාන් පසේ සිටින කියත් පණුවන්, සුදු පණුවන්, වේයන් හා කුහුඹුවන් වැනි සතුන්ගෙන් බීජ හා පැල වලට හානි ඇතිවිය හැක.  එය වලක්වාලීමට වසුන යෙදු අවස්ථාවේ සිට කෘමිනාශක පසට යෙදීම අවශ්‍ය  විය හැක.

පැල දැඩි කිරීම

පැල ගැලවීමට දින කිහිපයකට පෙර සිට තවානට ජලය යොදන වාර ගණන අඩු කිරීම (ජලය යොදන කාල අන්තරය වැඩි කිරීම) මගින් කෙෂ්ත්‍ර තත්ව වලට ඔරෝත්තු දෙන තත්ත්වයට තවාන් පැල සකසා ගත හැකිය.  මෙමගින් පැල සිටවු පසුව පැලූ ඇති වීම අවම වේ.

පැල ගැලවීම

තවානේ ඇති පැල සිටුවීමට වඩා සුදුසුම අවස්ථාව බෝග වර්ග අනුව වෙනස් වේ.  එම අවස්ථාවට පත්වු ශක්තිමත් හා නිරෝගී පැල සකසා ගත් බිමෙහි සිටුවීමට ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතුය. වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා මෙය බෙහෙවින් වැදගත් වේ.

 පැල ගැලවීමට පෙර තවාන පස හොදින් තෙත් කිරීම වැදගත්ය.  පැල ගැලවීමට භාවිතා කරන අත් මුල්ලුව මගින් පේලී අතර, පසු බුරුල් කරමින් පස් සමග මුල් නොකැඩෙන ලෙස පස් සමග මුල් නොකැඩෙන ලෙස පැල ගලවා ගන්න.

ගලවන ලද පැල වල මුල් නොකැඩෙන ලෙස පස් සමග සිටුවීමට බලාපොරොත්තු වන ස්ථානය වෙත ගෙනයා යුතුය.

 තවාන් මිශ්‍රණයක් (මාධ්‍යයක්) යොදාගනිමින් සකසනු ලබන තවාන්

වගාකරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති සම්ප්‍රදායික එළවළු තවාන් වලින් මෙම තවාන වර්ග වෙනස් වන්නේ එළවළු පැල වැඩීම සකසාගත් වි‍ශේෂ තවාන් මාධ්‍යයක සිදුවන නිසාත්, පිහිටි පොළව සහ තවාන් පැල අතර සෘජු සම්බන්ධයක් නැති නිසාත්ය.  මෙයට අමතරව මෙම තවාන්වල වැඩිමට සලස්වන පැල වල වර්ධනය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍යවන තත්ත්වයන් බොහොමයක් පාහේ වගාකරුවා හට එතරම් අපහසුවකින් තොරව පාලනය කරගත හැකිය.
මෙවැනි තවාන් වල නිපදවනු ලබන පැල නැවත වගා බිමෙහි සිටුවීමේදී ඒවායේ මුල් වලට කිසිදු හානියක් සිදුනොවේ.  එනිසා පැලවල වැඩීම බාල නොවේ.  සිටුවීමෙන් පසුව මිය යන පැල සංඛ්‍යාව බෙහෙවින් අඩුය.  එසේම වගාවේ පැල අතර ඒතාතාර වර්ධනයක් ද දැකගත හැකිය.

මෙයට අමතරව මෙවැනි පැල සිටුවන ලද වගාවක අස්වැන්න නෙලීම, සාමාන්‍ය තවානකින් ලබාගත් පැල සිටුවන ලද වගාවකට වඩා සති 1-2 පමණ කාලයකට පෙර ආරම්භ කළ හැකිය.

කුට්ටි තවාන් (නොර්දෝකෝ තවාන්)

මෙය, ජපානයේ ගොවීන් විසින් එළවළු පැල නිපදවීම සදහා යොදාගන්නා ලද එක් තවාන් ක්‍රමයකි. තවාන් මාධ්‍යය ලෙස යොදාගන්නා සරු මතුපිට පස් හා දිරාපත් වු ගොම, ජලය සමග මිශ්‍රකර කුට්ටි වලට කපා එම කුට්ටි මත බීජ හෝ පැල සිටුවීම මෙහිදි සිදුකරනු ලැබේ.  තක්කාලි, බටු, ගෝවා, මිරිස් වැනි කුඩා බීජ සහිත එළවළු වර්ග පමණක් නොව  අවශ්‍ය අවස්ථා වලදී තරමක් විශාල බීජ සහිත වට්ටක්කා, කරවිල වැනි බෝගයන්හි පැල නිපදවීමට ද මෙම තවාන් ක්‍රමය උපයෝගී කරගත හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය

සැලකිය යුතු කාලයක් වගා නොකරන ලද ඉඩමකින් ලබාගත් සරුබවින් යුත් මතුපිට පස්.හොදින් හලාගත් දිරාපත් වූ ගොම.කර කරගත් දහයියා ස්වල්පයක්.තවානේ පිටත දාරයට යෙදීම සදහා ලී රාමුවක් හෝ ඒ සදහා යොදාගත් හැකි ලී පටි.
 
නිසරු පස් හෝ මැටි ස්වභාවයෙන් වැඩි හෝ පස් යොදා ගතහොත් තවාන ආර්ථක විය හැකිය.  ලී රාමුවේ පළල අඩි 2 ½  විය යුතුය.  ඉඩකඩ ඇති ප්‍රමාණය අනුව එහි දිග වෙනස් කරගත හැකිය.
තවාන සැකසීම

හොදින් හිරු එළිය වැටෙන සමතලා ස්ථානයක් තවාන සදහා තෝරාගන්න.  ඉන්පසු එම ස්ථානයෙහි වල්පැලෑටි උදළු ගා ඉවත් කරන්න.

අවශ්‍ය කුට්ටි ප්‍රමාණය අනුව අඩි 2 ½ පළලට සහ පහසු දිගක් සහිත රාමු කුංඤ මගින් පොළවට සවි කරන්න.  ලී රාමු වෙනුවට අඟල් 2 ½  උස ලී පටි හෝ පොලු ආධාරයෙන් ද වටේ දාරය සකස් කරගත හැකිය.  තවානෙහි පළල අඩි 2 ½ වඩා වැඩි වූ විට පොලිතින් වලින් තවාන නිසි ලෙස ආවරණය කිරීම අපහසු වේ.

මෙයට පසුව රාමුව ඇතුලත බිම මත, කර කරගන්නා ලද දහයියා හෝ සිහින් වැලි තට්ටුවකින් හෝ අතුරන්න.  පසු අවස්ථාවකදී තවාන් කුට්ටි පොළවෙන් ඉවත්කර ගැනීමට මෙය උපකාරී වේ.

සරු පස් හා දිරාපත් වූ ගොම, සල්ලඩයක් ආධාරයෙන් වෙන වෙනම හලා ගන්න.  මේ අන්දමට හලාගත් ගොම හා පස් සම අනුපාතයකින් (1 :1) එකිනෙක සමග හොදින් මිශ්‍රකර ගන්න.  පසුව ජලය යොදමින් මැටි බදාමයක් ලෙස අනාගන්න.  මේ අන්දමට සකස් කරගත් මිශ්‍රණය රාමුව තුල අතුරා අතින් තද කර මට්ටම් කරගන්න.

මේ ආකාරයට අතුරා සකසාගත් මිශ්‍රණය තෙත ගොම හෝ පිදුරු වලින් වසා පැය 3-4 පමණ කාලයක් පදම්වීමට ඉඩ  හරින්න. මේ අන්දමට පදම් කර නොගතහොත් කුට්ටි කැපීම අපහසු වේ.  එසේම හිරුඑළියට නිරාවරණය කළවිට කුට්ටි ඉරි තැලි කැඩි යයි.

තවාන් මිශ්‍රණය හොදින් පදම් කරගත් පසුව. අවශ්‍ය ප්‍රමාණයට කුට්ටි කපාගත හැකිය.  කුට්ටි වල විශාලත්වය තවාන් කිරීමට බලාපොරොත්තු වන බෝග වර්ග අනුව තීරණය කරන්න.  සාමාන්‍යයෙන් මෙවැනි තවාන් කුට්ටියක විශාලත්වය අඟල් 1 ½ x 1 ½ x 1 ½ හෝ අඟල් 2 x 2 x 2  පමණ දක්වා වෙනස් විය හැකිය.

පරණ පිහියක් සහ අවශ්‍ය  කරම් පළලට සකසාගත් ලී පටියක ආධාරයෙන් කුට්ටි කපාගත හැකිය.  තවාන් මිශ්‍රණය මත ලී පටිය තබා ඇතලටම කැපී යන පරිදි පිහියේ ආධාරයෙන්  කුට්ටිය කපා ගන්න.  පිහියේ පස්  ඇලි කුට්ටි කැඩියාම වලකා ගැනීම සදහා වරින් වර පිහිය ජලය බදුනක ගිල්වා තෙත් කරගන්න.

මේ අන්දමට කපා ගන්නා ලද සෑම තවාන් කුට්ටියකම හරි මැදින් සිදුරක් සකසා ගන්න.  ඉවත දමන බෝල් පොයින්ට් පෑනක පසු පස කොටස ආධාරයෙන් සිදුර සකසා ගැනීමෙන් ඒකාකාරී ගැඹුරකින් මෙම සිදුරු ඇතිකරගත හැකිය.  මේ අන්දමට කුට්ටිවල සකසාගත් සිදුරු වල තවාන් කිරීමට අවශ්‍ය බීජ කෙලින්ම දැමීම හෝ කළ හැකිය.

එකවරම බීජ සිටුවීම

කුට්ටි කවාන් වල එකවරම බීජ සිටුවන්නේ නම් තවාන් කුට්ට්ය මත සකසාගත් සිදුරු එතරම් ගැඹුරකට සකසා නොගත යුතුය.  එහි ගැඹුර අගල් ¼ පමණ වීම සෑහේ.  මෙම සිදුර තුලට බීජ 2-3 පමණ දමා ගොම හා මතුපිට පස් සමව මිශ්‍රකර සාදාගත් මිශ්‍රණයෙන්ම බීජ වසා හොදින් තදකද ගන්න.

මේ අන්දමට බීජ යොදා තවාන මත තෙත ගෝනි හෝ තෙත පිදුරු අතුරන්න.  වෙනත් තවාන් වල මෙන් නොව මෙහිදි තවානට බීජ යෙදු විගස ජලය යෙදීම නොකරන්න.  ජලය යෙදුවහොත් බීජ කුණුවීම වැඩිවිය හැකිය.

බීජ පැලවු විගස වසුන ඉවත් කරන්න.  බීජ පැල වලට දින 10 පමණ ගතවු පසුව එක් තවාන් කුට්ටියක එක් නිරෝගී පැලයක් පමණක් ඉතිරි කර සෙසු පැල ගලවා ඉවත් කරන්න.

තවාන් කුට්ටි වල පැල සිටුවීම

මේ සදහා කුට්ටි තවාන සැකසීමට පෙර වෙනත් ස්ථානයක සාමාන්‍ය ආකාරයේ තවානක් සකසා එහි බීජ වපුරා පැල නිපදවා ගන්න.  මෙය ප්‍රාථමික කවාන ලෙස හැදින්වේ.

මෙම ප්‍රාථමික තවානෙහි බීජ පැල වල පත්‍ර දෙකක් සහිත අවස්ථාවේදී ගලවා කුට්ටි තවාන් වල සිටුවිය යුතුය.

මේ අන්දමට බීජ පැල සිටුවීමේදී තවාන් කුට්ටි වල සකස් කර ගන්නා සිදුරෙහි ගැඹුර සිටුවන පැලයේ මූල මණ්ඩලයේ ගැඹුර අනුව වෙනස්  කර ගන්න.

ප්‍රාථමික තවානෙන් පැල ගැලවීමට ප්‍රථම එය හොදින් තෙත් කරන්න.  ඉන්පසුව මූල මන්ඩලයට හානි නොවන පරිදි පැල ගලවා ගන්න.  සිටුවීමේදී පැල වල බීජ පත්‍ර වලින් පමණක් අල්වා පැල සිටුවන්න.

කුට්ටි තවාන් වල මෙවැනි කුඩා බීජ පැල සිටුවීමෙන් පසුව පැල වල මූල මණ්ඩලය හා තෙත පස එකිනෙක සමග හොදින් සම්බන්ධ වන පරිදි පස් වසුනක් යොදා අතින් තද කරන්න.  ඉන්පසුව තවාන මදක් තෙත්වන පරිදි මල් බාල්දියකින් ජලය යොදන්න.

තවාන නඩත්තුව

තවාන ආවරණය කර ගැනීම සදහා ආරුක්කුවක ආකාරයට කුඩා උණ පතුරු නවා එකිනෙකට අඩි 1 ½ පරතරයකින් තවාන මත සිටුවා ගන්න.  ඉන්පසුව අඩි 2 ½ පළල පොලිතිනයක් දෙකඩ කර මෙලෙස සකසා ගත් උණ පතුරු මත තවාන වැසෙන පරිදි අතුරා ගන්න.  පාත්තිය දෙපස සවිකරගත් කුංඤ වලට මෙම පොලිතිනය ගැට ගසන්න.

රාත්‍රි තාලයේදී සහ වර්ෂාව ඇතිවිටදී පොලිතිනයෙන් තවාන වසා තබන්න.  දිවා කාලයේදී පොලිතිනය ඉවත් කරන්න.

තවාන් කුට්ටි වල තෙතමනය නිසි මට්ටමක පවත්වාගෙන හැකි වන පරිදි කුඩා සිදුරු සහිත මල් බාල්දියකින් ජලය යොදන්න.

තවානට සති 3 පමණ ගතවු පසුව එහි වල් පැල තිබේනම් අතින් ගලවා ඉවත් කරන්න.
පැල වල වැඩිම දුර්වල නම් වෙළද පොළෙහි ඇති දියර පොහොරක් තවානට ඉසින්න.  එසේ නොමැති නම් යූරියා අවුන්සයක් ජලය ගැළුම් 2 මිශ්‍රකරගත් දියරය පැල වලට යොදන්න.  තවාන් පැල වලට රෝග හා කෘමි හානි පැමිනේදැයි පරීක්ෂාකාරී වන්න.

පැල සිටුවිම

කවානට සති 3 -4 පමණ ගතවු පසුව හෝ එක් එක් බෝග වර්ග අනුව තවානෙහි පැල වැඩීවීමට ඉඩ හැරිය යුතු කාලය අවසන් වූ පසුව හෝ කුට්ටි තවාන් වල පැල වගා බිමෙහි සිටුවීම සදහා යොදා ගන්න.  මේ සදහා පළමුවෙන්ම කුට්ටි තවානෙහි රාමුව ඉවත් කරන්න.

ඉන්පසුව තවාන් කුට්ටි කැපීම සදහා යොදාගත් පිහිය මගින්ම කුට්ටි නැවත එකිනෙකින් වෙන්කර ගන්න.  පිහි තලය කුට්ටිය යටින් දමා ඉසීමෙන් එය පහසුවෙන් ගැලවේ.  මේ අන්දමට වෙන්කර ගත් තවාන් කුට්ටි සිටුවීම සදහා වගා බිමට ගෙනයාම සදහා ලී වලින් සකසාගත් තැටි භාවිතා කිරීම වඩා සුදුසුය.

පැල සිටුවීමට පෙර සකසාගත් වලවල් වලට ජලය යොදන්න.  පැලය සහිත පස් කුට්ටිය වැසෙන ‍සේ පස් වලින් ආවරණය කරන්න.

බදුන් තවාන්

එළවළු වගා කිරීම සදහා නිරෝගී වැඩි දිරියකින් යුතු පැල නිපදවා ගත හැකි තවාන් ක්‍රමයකි. මේ අන්දමට නිපදවාගත ගන්නා පැලවල හොදින් වැඩුන ශක්තිමත් මූල මණ්ඩලයක් ඇත.  බදුනේ ඇති තවාන් මාධ්‍යය සමගම වගා බිමෙහි පැල සිටුවන නිසා පැල වල වැඩීම බාල නොවේ.  පැල සිටුවීමේදී මුල් වලට හානි නොවන නිසා පැල මිය යාමක් හෝ තුවාල වූ මුල් හරහා රෝග කාරකයන් පැලයට ඇත්ල්වීමක් හෝ සිදු නොවේ.  සිටුවීමට යොද‍ාගන්නා බීජ වලින් වැඩි පැල සංඛ්‍යාවක් ලබාගත හැකි නිසා.  මෙම ක්‍රමය මිල අධිකම දෙමුහුම් ප්‍රභේද වල බීජ තවාන් කිරීම සදහා බහුල වශයෙන් යොද‍‍ා ගනු ලැබේ.  මෙය, ගෝවා, බටු, තක්කාලි, මිරිස් වැනි කුඩා බීජ සහිත බෝග සදහා වඩාත් සුදුසු තවාන් ක්‍රමයකි.

බදුන් සැකසීම

විශ්කම්භය සෙ.මි. 13 (4”) සහ උස සෙ.මි. 17(7”) වූ කුඩා ප්‍රමාණයේ "සෙලෝ පොලිතීන්" බදුන් මේ සදහා සාර්ථකව යොදාගත හැකිය.  සාමාන්‍යයෙන් "ග්‍රොසරි බෑග්ස්" යනුවෙන් හදුන්වනු ලබන මෙය යොදා ගැනීම වඩා ලාභදායක වේ.  පැල වැඩෙන විට බදුන තුල එක් රැස්වන වැඩි ජලය ඉවත්ව යාම සදහා බැගයේ පහළ ප්‍රදේශයෙහි කුඩා සිදුරු 6-8 පමණ සැකසීය යුතුය.  එසේම බදුන් මිශ්‍රණය පුරවා ගැනීමට පෙර බෑගයේ විවෘත පැත්තේ දාරය අඟල් 1 ½ පමණ ඇතුලට නවා ගන්න.  එමගින් එහි වැනෙන සුළු බව අඩුකර ගත හැකිය.
මෙම බදුන් සදහා තවාන් මිශ්‍රණය ලෙස සරු මතුපිට පස් සහ දිරාපත් වූ ගොම පොහොර පළමුව සල්ලඩකර, සම ප්‍රමාණ වලින් මිශ්‍ර කර ගන්න.  මෙම මිශ්‍රණය තරමක් තෙත් කර ගැනීමෙන් බදුන්වලට පුරවා ගැනීම පහසු වේ.

මේ අන්දමට බදුන් මිශ්‍රණය පුරවාගත් බදුන් එකිනෙකට ආසන්නව සිටින සේ තවාන සදහා සකස් කරගත් ස්ථානයෙහි අසුරාගන්න.  මොසේ අසුරාගන්නා බදුන් අඩි 3කට නොවැඩි පළලක් සහිතව තබා ගැනීමෙන් රැක බලා ගැනීම වඩා පහසු වේ.

මෙවැනි සෙලෝපොලිතීන් බදුන් වෙනුවට, කඩදාසි වලින් සැකසු බදුන් වුවද භාවිතා කළ හැකිය.  මෙයට අමතරව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බදුන් සහිත තැටි ද වෙළද පොලෙන් මිලදී ගත හැකිය.  එවැනි බදුන් කිහිපවරක් පාවිච්චි කිරීමේ හැකියාව ද තිබේ.

බදුන් මිශ්‍රණය ජීවානුහරණය

බදුන් වලට පුරවාගත් තවාන් මිශ්‍රණයෙහි විවිධ රෝග කාරකයින් සිටියොත් කුඩා එළවළු පැල වලට විශාල වශයෙන් හානි ඇති වේ.  මෙය වලකා ගැනීම සදහා බීජ සිටුවීමට දින 1-2 පමණ පෙර සුදුසු දිලිර නාශකයක් යොදා බදුන් මිශ්‍රණය ජීවානුහරණය කරගන්න.  මේ සදහා කැප්ටාන් නැමැති දිලීර නාශකයෙන් ග්‍රෑම් 15-20 ජලය ලීටර 10 මිශ්‍රකර සාදාගත් දියරය මල් බාල්දියකින් බදුන් වලට යොදා තවාන් මිශ්‍රණය හොදින් තෙත් කරගන්න.

බිජ ප්‍රතිකාර කිරීම

බීජ සමග පැවතිය හැකි රෝග කාරක විනාශ කර ගැනීම සදහා සිටුවීමට පෙර සුදුසු දිලීර නාශකයක් බීජ සමග මිශ්‍රකර ගන්න.  කුඩා බීජ කිලෝ ග්‍රෑමයක් සදහා කැප්ටාන් කුඩු ග්‍රෑම් 4-5 පමණ මිශ්‍රකර ගැනීම කළ හැකිය.

බීජ සිටුවීම

එක් බදුනක තබිය යුතු පැල ගණන, බෝග වර්ගය  හා වගා ක්‍රමය අනුව වෙනස් කල යුතුය.  ඒ අනුව බීජ සිටුවීම සදහා එක් බදුනක ඇති තවාන් මිශ්‍රනයෙහි ඇතිකළ යුතු සිදුරු සංඛ්‍යාව එකක් හෝ දෙකක් හෝ විය හැකිය.  මෙවැනි සිදුරක ගැඹුර අගල් ¼ - ½ අතරවීමට පිළිවන.

උදාහරණයක් ලෙස එක් බදුනක ගෝවා එක් පැලයක් ද තක්ක‍ාලි නම් පැල දෙකක් බැගන් ද පවත්වාගත යුතුය.  සෑම බදුනකම බීජ සිටුවිය යුත්තේ එක සමාන ගැඹුරකිනි.  එසේ නොවුනහොත් බීජ පැලවීමද ඒකාකාරීව සිදු නොවේ.  මේ සදහා සරල උපකරණයක් සාදාගත හැකි අතර එය බදුන් මිශ්‍රණය පිරවු බදුන මත තබා තද කිරීමෙන් සෑම බදුනකම සම ගැඹුරකින් සිදුරු සකසාගත හැකිවේ.  ඉන්පසුව සිදුරු තුලට බීජ දමා ජීවානුහරණය කරගත් බදුන් මිශ්‍රණයම යොදා වසා දැමිය යුතුය.

වසුන් කිරීම

මෙලෙස බීජ යෙදූ බදුන් වල බීජ පැල වනතෙක් මතුපිටින් වසුනක් යෙදීම අත්‍යවශ්‍ය වේ.  මේ සදහා අගල් 2ක් පමණ ඝනකම පිදුරු තට්ටුවක් හෝ තෙත ගෝනි හෝ යොදාගත හැකිය.

කුඹීන් හා වේයන්ගේ හානි සහිත ප්‍රදේශ වලදී නම් ඒ සදහා සුදුසු කෘමි නාශකයක් ජලයේ දියකර වසුන යෙදූ පසු වසුන ද තෙත් වන ලෙසට බදුන මතට යොදන්න.

දිනපතා බදුන් වල තෙතමනය පරීක්ෂා කර බලා අවශය පරිදි ජල සම්පාදනය කරන්න.  බීජ පැල පසෙන් මතුවූ විගසම වසුන ඉවත් කරන්න.

බීජ පැල පසෙන් මතුවු දින කිහිපයේදී ඒවා ඉතා මෘදු වන හෙයින් වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වේ.  මේ සදහා පොලිතීන් ආවරණයක් , බදුන් වලට ඉහලින් අර්ධ කවාකාරව සිටින ලෙස යොදන්න.

බීජ පැල පත්‍ර දෙක සහිත අවස්ථාවට පත් වූ විට (බීජ සිටුවා දින 7-10 දී) බදුන් වල ඇති වැඩි පැල ඉවත් කරන්න.  එලෙස ඉවත් කරන පැල නැවත, පළමුව සදහන් කළ අයුරින් සකසා ගත් බදුන් වල රෝපණය කිරීමෙන් , පැල අපතේ යාම වලකී.

බදුන් මාධ්‍යයේ තෙතමනය නිසි ලෙස පවත්වා ගෙන යාම සදහා ක්‍රමවත්ව ජල සම්පාදනය කරන්න.  පැල ක්‍රමයෙන් වර්ධනය වන විටදී පැල දැඩි කිරීම සදහා හිරු එළිය වැටෙන කාලසීමාව ක්‍රම ක්‍රමයෙන් වැඩි කරන්න.

කෘමි රෝග හානි පිළිබදව පරීක්ෂාකිරී වීම ඉතා වැදගත් වන අතර, අවශ්‍ය වන්නේ නම්  පමණක් සුදුසු පළිබෝධ නාශකයක් ඉසින්න.

පැල සිටුවීම

නියමිත කාල සීමාව තුලදී පැල සිටුවන්න.  වඩා වැඩි කාලයක් බදුනේම පැල තබාගත් විට ගැඹුරට වැඩෙන මුල්, බදුන් පතුලේ දී ගැට ගැසේ.  එය අහිතකර තත්ත්වයකි.

තවානේ සිට කෙෂ්ත්‍රයට ගෙනය‍ාමේ දී , පැල වලට හා බදුන් වලට හානි සිදුවීම වලකා ගැනීම සදහා පැතලි පතුලක් සහිත සහිත භාජනයක අසුරාගෙන පැල අඩංගු බද්‍රන් කෙෂ්ත්‍රයට ගෙන යන්න.  බදුනේ සිරස් කැපුමක් යොදා බෑගය ඉවත් කරමින්, පස් කුට්ටිය සමග පැල සිටුවන්න.  පැල සිටුවීමේදී  ඉවත් කරන සෙලෝපොලිතීන් බෑග් එක් තැනකට එකතු කර විනාශ කරන්න

මෙලෙස සැකසු බදුන් පැල ගෙවතු වගා කරන්නන් හට අලෙවි කිරීම ආදායම් උපදවන මාර්ගයක් කරගත හැකිය.  තවද , කෙෂ්ත්‍රයේ සිටුවන තෙත් පැල වලට හානි නොවන ලෙස තබා ගැනීම පහසු බැවින් එය වගාකරුවනට ද පහසුවක් වේ.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »