වසර පුරාම ඵල දරන පලතුර කෙසෙල්

2018-04-23 11:27:00       382
feature-top
ශ්‍රී ලංකාවේ වගා කරන පලතුරු අතරින් කෙසෙල්වලට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි ය.

ඕනෑ ම ගෙවත්තක වගා කරගත හැකි කෙසෙල් ශාකය ගෙවත්තට සිරියාවක්‌ ලබා දෙන ශාකයකි. කැනෙන් බර වුණු කෙසෙල් පඳුරක්‌ දකින විට එය ගෙවත්තට පිරිපුන් බවක්‌ ලබා දෙයි. කෙසෙල් පත්‍රය ප්‍රයෝජනයට ගැනීමට හැකි වීම තවත් විශේෂත්වයකි. වසරේ පලදාව ලබා දෙන නියමිත කාලයක්‌ නොමැති නිසා වසර පුරාවට ඵල දරන පලතුරු අතර ප්‍රමුඛස්‌ථානයක්‌ කෙසෙල්වලට හිමි වේ. 

ප්‍රදේශයට උචිත කෙසෙල් ප්‍රභේදයක්‌ තෝරා ගැනීම වගාකරුවන් ගේ වගකීම වේ. කෙසෙල් ප්‍රභේද රාශියක්‌ තිබෙන නිසා උචිත ප්‍රභේදය තෝරා ගැනීම ද අසීරු කටයුත්තක්‌ නො වේ. වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ වගා කිරීමට සුදුසු වන්නේ කෝලිකුට්‌ටු, ඇඹුල්, සීනි වැනි කෙසෙල් ප්‍රභේද ය. තෙත් කලාපයේ ඇඹුල්, පුවාලු, සීනි, ආනමාලු, ඇම්බුන්, රතඹලා, බිං කෙසෙල් ආදී ප්‍රභේද සුදුසු වේ. මේ ප්‍රභේදයන් පලතුරු ලෙස වගා කරන අතර මාළු කෙසෙල් ප්‍රභේද වෙන ම නිර්දේශ කර ඇත. වෑංජන සඳහා යොදා ගනු ලබන කෙසෙල් ලෙස වියළි කලාපය සඳහා අළු කෙසෙල්, දිය මොන්දන්, අළු මොන්දන් ද, අතරමැදි කලාපය සඳහා අළු කෙසෙල්, මොන්දන් වර්ග, ඇටඹුරු, කිතල ද තෙත් කලාපය සඳහා මොන්දන් වර්ග, ඇටඹුරු, කිනල ද නිර්දේශ කර තිබේ. 

කෙසෙල් ශාකයේ මනා වර්ධනයක්‌ සඳහා සාරවත් ලෝම පසක්‌ ගැලපේ. පසෙහි PH අගය 4-8 දක්‌වා වූ පරාසයක පවතී නම් කෙසෙල් ශාකය හොඳින් වර්ධනය වේ. PH අගය 5ට අඩු වන විට පසට හුණු යෙදීම කළ යුතු ය. 

කෙසෙල් වගාවට යොදාගනු ලබන රෝපණ ද්‍රව්‍ය වන්නේ මොරෙයියන් ය. උසස්‌ නිෂ්පාදනයක්‌ ලබාගැනීමට යොදාගනු ලබන මොරෙයියන් ගේ නිරෝගී බව හා ශක්‌තිමත් බව හේතු වේ. කෙසෙල් පඳුරකින් හටගන්නා මොරෙයියන් වර්ග 3කි. ඒවා කඩුපත් මොරෙයියන්, දිය මොරෙයියන් හා කන්‍යා මොරෙයියන් වශයෙන් හඳුන්වනු ලබයි. 

කඩුපත් මොරෙයියන් වගාව සඳහා ඉතා ම සුදුසු වේ. මොරෙයියන් පහළ කොටස මහත් ව ඉහළට යන විට ක්‍රමයෙන් සිහින් වන ලක්‍ෂණයක්‌ පෙන්වයි. පත්‍ර ද සිහින් ය. දිග ය. කඩුපතක හැඩය ගන්නා පත්‍ර නිසා කඩුපත් මොරෙයියන් යන නම භාවිත වේ. මේ මොරෙයියන් වේගවත් වර්ධන ලක්‍ෂණ පෙන්වයි. අලය ප්‍රමාණයෙන් විශාල ය. 

දියපත් මොරෙයියන් පත්‍ර විශාල ය, පළල් ය. අලය කොටස කුඩා ය. කඳ සිලින්ඩරාකාර ය. වර්ධන වේගය බෙහෙවින් අඩු ය. පැළය දිරිමත්ව නො වැඩෙන හෙයින් වගාව සඳහා සුදුසු නො වේ. 

කන්‍යා මොරෙයියන් ගේ ද පත්‍ර පළල් ය, ළං ව පිහිටයි. අලය තරමක්‌ විශාලව පිහිටයි. කඩුපත් මොරෙයියන් සොයාගත නොහැකි අවස්‌ථාවල දී වගාවට යොදා ගැනීමට සුදුසු ය. කඳ තරමක්‌ දුරට කේතු ආකාර ය. වර්ධනය වේගවත් ය. 

පටක රෝපිත කෙසෙල් පැළ වගාවට යොදා ගත හැකි නම් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි ය. බොහෝ අලෙවි සල්වල ඇම්බුන්, කෝලිකුට්‌ටු, ඇඹුල්, නේත්‍රපලම්, කැවෙන්ඩිෂ් වැනි වර්ගවල පටක රෝපිත පැළ අලෙවියට තබා ඇත. ඒවායෙහි නිරවද්‍යතාව හරිහැටි පරීක්‍ෂා කර බලා එම පැළ වගාවට යොදා ගැනීම වඩාත් සුදුසු ය. 

කුමන කාණ්‌ඩයට අයත් කෙසෙල් පැළ වගාවට යොදාගත්ත ද අනුගමනය කළ යුතු පිළිවෙත් එක ම වේ. කඩුපත් හා කන්‍යා මොරෙයියන් යොදා ගනී නම් සෙ.මී. 75ක්‌ පමණ උස, අලයෙහි විෂ්කම්භය සෙ.මී 15-20 වන පැළ යොදා ගැනීම සුදුසු ය. මොරෙයියන් ගේ වයස මාස 3-4ක්‌ පමණ වන විට මේ තත්ත්වයට පත් වේ. අල ගුල්ලා ගේ හානිය පවතී නම් එම කොටස්‌ ඉවත් කර හොඳින් අළු තවරා සෙවණ පවතින ස්‌ථානයක සතියක්‌ පමණ තැන්පත් කර තබා සිටුවා ගැනීමට යොදා ගැනීම යෝග්‍ය වේ. 

පටක රෝපිත පැළ යොදා ගන්නේ නම් මේවා ශාක ගෘහවලින් එළියට දමන විට සෙ.මී. 20-30ක්‌ පමණ උසකින් යුක්‌ත ය. එකවර ම සූර්යාලෝකයට නිරාවරණය නො කර සාමාන්‍ය පරිසරයට හැඩ ගැසීම ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුතු ය. පරිසරයට හැඩ ගස්‌වා සිටුවීම වඩාත් සුදුසු ය. 

කෙසෙල් පැළ සිටුවීම යොදා ගන්නා පරතරය වර්ගය අනුව වෙනස්‌ වේ. 

කෝලිකුට්‌ටු, බිම් කෙසෙල් සඳහා මීටර් 2.4 X 2.4

ආනමාලු, ඇම්බන් සඳහා මීටර් 3.6 X 3.6

ඇඹුල් හා අනෙකුත් වර්ග සඳහා මීටර් 3 X 3 පරතරය තබාගත යුතු ය.

කෙසෙල් පැළයක්‌ සිටුවීමට සෙ.මී 60 X 60 X 60 ප්‍රමාණයේ වළවල් සකස්‌ කර ගැනීම යෝග්‍ය ය. පැළ සිටුවීමට සති 2කට පෙර මතු පස්‌ හා කාබනික ද්‍රව්‍ය යොදා එම වළවල් පුරවා ගැනීම කළ යුතු ය. සිටුවා ගැනීමට පෙර එක්‌ වළකට කාබෝෆියුරාන් ග්‍රෑම් 5 - 8 ක්‌ යෙදීමෙන් අල ගුල්ලා ගේ සහ කඳ ගුල්ලා ගේ හානිය වළක්‌වාගත හැකි ය. තෙත් කලාපයේ වගාව සිදු කරන්නේ නම් එක්‌ වළකට ඩොලමයිට්‌ ග්‍රෑම් 600 ක්‌ පමණ යොදා ගත යුතු ය. පැළ සිටුවා ගත් පසු පැළය වටේට වසුනක්‌ යොදා ගැනීම වැදගත් ය. 

කෙසෙල් වගාවේ වර්ධන වේගය අනුව පොහොර යෙදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. සිටුවා මාස 2කට පසු පළමු වරට පොහොර යෙදීම නිර්දේශ කර ඇත. හැකි අවස්‌ථාවල කාබනික පොහොර, අළු ආදිය යෙදීමෙන් පැළ සාර්ථකව වැඩෙයි. රසායනික පොහොර යොදන්නේ නම් පැළයට සෙ.මී 30 ක්‌ දුරකින් සෙ.මී 30ක්‌ පමණ පළලට පොහොර විසුරුවා හැර පසට කලවම් කරන්න. මුල්වලට හානි සිදු නො වන ආකාරයට මෙය සිදු කිරීමට ද වගබලාගත යුතු ය. ගෙවතු වගාවේ දී රසායනික පොහොර නො යොදා කාබනික පොහොර පමණක්‌ නිසි පරිදි යොදා පඳුරු පවත්වා ගෙන යැම වඩා ලාභදායක ය. 

කෙසෙල් පඳුරක්‌ වැඩෙන විට අසීමිත ලෙස මොරෙයියන් මතු වන බව කොතෙකුත් දැක ඇත. එහෙත් විශාල පැළ සංඛ්‍යාවක්‌ ඇති වීම මගින් කෙසෙල් කැනෙහි වර්ධනයට බාධා ඇති වේ. එම නිසා පඳුරෙහි තිබෙන පැළ ප්‍රමාණය සීමා කිරීම ඉතා වැදගත් ය. එමගින් කෙසෙල් කැනෙහි බර වැඩි වීම, ගෙඩි විශාල වීම, පළිබෝධ පාලනය ආදිය සිදු වේ. කෙසෙල් පැළයක්‌ සිටුවා මාස 4 කට පසු මතු වන සියලු ම පැළ ගලවා ඉවත් කළ යුතු ය. මාස 4 ගත වූ පසු හොඳ වර්ධන ලක්‍ෂණ පෙන්වන කඩුපත් මොරෙයියකු හෝ කන්‍යා මොරෙයියකු හෝ ඉතිරි කරගත හැකි ය. මුල් පැළය හොඳින් වර්ධනය වී කෙසෙල් කැනක්‌ ඇති වන තෙක්‌ ඇති වන අනෙකුත් මොරෙයියන් සියල්ල ම ඉවත් කළ යුතු ය. මවු ශාකය පීදෙන විට තවත් එක්‌ පැළයකට වැඩෙන්නට හරින්න. මේ ආකාරයට වැඩිමල් ශාකයක්‌ සමග සැම විට ම තවත් ශාකයක්‌ දෙකක්‌ තිබෙන ආකාරයට පඳුරු නඩත්තු කර ගැනීම අවධානයකින් යුතු ව කළ යුතු ය. සැම විට ම කෙසෙල් කැන කපාගන්නා විට තවත් පැළයකට වර්ධනය වීමට ඉඩ හරින්න.

කෙසෙල් කැන ඇති වී ඇවරි ඇති වූ පසුව කැනෙහි පහළ ඇවරියේ සිට සෙ.මී. 15 ක්‌ පමණ පහතින් නටුව ඉතිරි වන පරිදි මුහය කපා ඉවත් කරන්න. 

කෙසෙල් කැන ආවරණය කිරීම මගින් ගෙඩිවල විශාලත්වය වැඩි කළ හැකි ය. පොලිතීන් යොදා කැන ආවරණය කළ හැකි ය. මේ ආවරණය කිරීම මගින් කැනෙහි බර 18%  - 23% ප්‍රමාණයකින් වැඩි කළ හැකි බව සඳහන් වේ. 

කෙසෙල් පඳුර පිරිසිදුව තබා ගැනීමෙන් කෙසෙල් අල ගුල්ලන් ගේ, කඳ ගුල්ලා ගේ හානියෙන් ආරක්‍ෂා කරගත හැකි ය. කෙසෙල් කැන කපා ගත් පසුව එම ගස අලය ද සමග උදුරා ඉවත් කළ යුතු ය. අළු යෙදීම මගින් පැළෑටියට කාබනික ද්‍රව්‍ය ලැබීමත් සමග එය කෘමි නාශකයක්‌ හා දිලීර නාශකයක්‌ ලෙස ද ක්‍රියා කරයි. 

කෙසෙල් කැනක්‌ ඇති වී මේරීමේ අවස්‌ථාවට පැමිණීමට ගත වන කාලය කෙසෙල් වර්ග අනුව වෙනස්‌ වේ. ආනමාලු හා ඇම්බන් කෙසෙල් සඳහා මාස 3ක්‌ ද, ඇඹුල් කෙසෙල් සඳහා මාස 3 1/2 ක්‌ ද, සීනි කෙසෙල් සඳහා මාස 4 1/2 ක්‌ ද, පුවාළු කෙසෙල් සඳහා මාස 5ක්‌ ද ගත වේ. 

courtesy : vidusara.com


More News »