උඩු­ය­ටි­කුරු වූ කාල­ගු­ණ­යට සේදී යන ගොවි­යාගේ හෙට දවස

2019-12-28 11:31:00       829
feature-top
දකුණු ආසි­යාවේ රට­වල් අතර ශ්‍රී ලංකාව කාල­ගු­ණික විප­ර්යා­ස­ව­ලට අධික ලෙස ගොදුරු වන බව හඳු­නා­ගෙන තිබේ. එම කාල­ගු­ණික විප­ර්යාස හමුවේ වැඩිම බල­පෑම් එල්ල වන ප්‍රදේශ ලෙස කෘෂි කර්මා­න්ත­යට වැඩි නැඹු­රු­වක් දක්වන උතුර, වයඹ සහ බස්නා­හිර පළාත් හඳු­නා­ගෙන තිබේ.

2017 වසරේ ශ්‍රී ලංකා­වට බලපෑ නිය­ඟය සහ ගංව­තුර හේතු­වෙන් රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ 1.2% ක් දක්වා පහත වැටිණි. රටේ කෘෂි­ක­ර්ම­යට සහ ආර්ථි­ක­ය­ටත් විශේ­ෂ­යෙන්ම ගෘහස්ත ආර්ථි­ක­යට දේශ­ගු­ණික වෙන­ස්කම් ඉතා අහි­ත­කර ලෙස බලපා තිබේ.

කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ අග­යක් ගැනීම හේතු­වෙන් ශ්‍රී ලංකා­වට බලා­පො­රොත්තු වූ ආර්ථික වර්ධ­නය ළඟා කර­ගැ­නී­මට නොහැකි විණි. නිසි කලට වැසි නොලැ­බී­මෙන් වගාව පාළු වීමත් අධික වර්ෂාව, ගංව­තුර හමුවේ වගා සෝදා­පා­ළු­වට ලක් වීමත් නිසා නිතර දෙවේලේ ගොවි­යන් නඟන අඳෝනා මේ වක­වා­නුවේ සුලබ පුවත් වෙයි. වෙනස් වන කාල­ගු­ණය හමුවේ කෘෂි­ක­ර්මා­න්ත­යට සිදු වන බල­පෑම අවම කර­ගත හැක්කේ කෙසේද යන්න මෙරට කෘෂි­ක­ර්මා­න්තය පිළි­බඳ හසල අත්දැ­කීම් ඇති පාර්ශ්ව කිහි­ප­ය­කින් විමසා බල­න්නට අපි කට­යුතු කළෙමු.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි අධ්‍ය­ය­නාං­ශයේ මහා­චාර්ය බුද්ධි මාරඹේ පව­සනේ කාල­ගු­ණයේ ඇති වන විච­ල්‍ය­තා­වන්ගේ අඩු­වැඩි වීම් මත රටක දේශ­ගු­ණික විප­ර්යාස ඇති වන බවත් කාර්මික යුගයේ ඇති වූ සංසි­ද්ධී­න්වල බල­පෑමේ ප්‍රති­ඵල මේ දේශ­ගු­ණික විප­ර්යාස කෙරෙහි සෘජුව බලපා ඇති බවත්ය.

පැරිස් සම්මු­තිය ඇති වීමට ප්‍රධාන වශ­යෙන් ඒ තත්ත්වය බලපෑ බවත් ගෝලීය උෂ්ණ­ත්වය අධික ලෙස ඉහළ යෑමට පට­න්ගෙන ඇති අතර දේශ­ගු­ණික විප­ර්යාස අවම කොට ඒවායේ බල­පෑ­ම්ව­ලට මුහුණ දීම සඳහා ගෝලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 2ක් අඩු­වෙන් පවත්වා ගැනී­මට රට­වල් 187ක් එකඟ වී පැරිස් සම්මු­තිය ඇති කළ බව ඔහු පව­සයි.

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර කෘෂි­කර්ම අධ්‍යක්ෂ සනත් එම්.බණ්ඩාර මහතා පව­සන්නේ එම හදිසි දේශ­ගු­ණික විප­ර්යාස ස්වභා­වික තත්ත්ව­යෙන් මිදී මිනි­සාගේ ක්‍රියා­කා­ර­කම් නිසා පටන් ගෙන ඇති බවයි. ඒ සඳහා කිසිදු ප්‍රති­ක­ර්ම­යක් ලොව කොහේ­වත් නැති බවයි.

“මේ විප­ර්යා­සය නිසා මාස දෙක­කට වහින්න ඕනෑ එක දවස් දෙකට වහි­නවා. මේ වර්ෂා­ප­තන ව්‍යාප්තිය රටේ බොහොම අක්‍ර­ම­වත්. කාට­වත් ඒ ගැන අනා­වැකි කිය­න්නට බැහැ. ඒ නිසා වගාව විනාශ වෙනවා. ඒ පාඩුව අපිට හැම තිස්සෙම දරන්න වෙනවා. මේ දව­ස්වල භෝග මිල ඉහ­ළයි කියා කෑගැ­සු­වාට මේ ප්‍රශ්න­යට විස­ඳු­මක් නැහැ.‘බණ්ඩාර මහතා පව­සයි.

මහා­චාර්ය බුද්ධි මාරඹේ වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් පව­සන්නේ, කෘෂි­ක­ර්මා­න්ත­යට වෙනස් වන උෂ්ණ­ත්ව­යයේ බල­පෑම තදින්ම දැනෙන බවයි.

“ලංකාවේ උෂ්ණ­ත්වය වැඩි වීම සාමාන්‍ය සීමා­වට වඩා වැඩි වේග­ය­කින් සිදු වෙනවා. දහ­වල් උෂ්ණ­ත්වය වැඩි වීමේ වේග­යට වඩා වැඩි වේග­ය­කින් රාත්‍රී උෂ්ණ­ත්වය වැඩි වෙනවා.

අර්තා­පල් වැනි භෝග­යක අස්වැ­න්නට එය තදින් බල­පා­නවා. මොකද අර්තා­පල් වගා­කි­රි­මට අවශ්‍ය උෂ්ණත්ව පරා­ස­යක් පව­ති­නවා. මේ කරුණ අනෙක් භෝග­ව­ල­ටත් එලෙ­ස­මයි“ඔහු පව­සයි.

කෘෂි­ක­ර්මා­න්ත­යට බල­පෑම් එල්ල කරන තවත් දේශ­ගු­ණික විප­ර්යා­ස­යක් ලෙස මහා­චාර්ය මාරඹේ පව­සන්නේ, වියළි කලා­පය තව තවත් වියළි වීමත් තෙත් කලා­පය තව තවත් තෙත් වීමත්ය.

“වියළි කලා­පයේ ජලය එන්න එන්න හිඟ­වෙ­නවා. තෙත් කලා­පය අධික වැසි නිසා එන්න එන්නම තෙත් වෙනවා.

පසු­ගිය කාලයේ අධික නියඟ වගේම ගංව­තුර උව­දුර නිසා ගොවි ජන­තාව අප­හ­සු­තා­වට පත් වුණා. අස්වැන්න අඩු වුණා. ඒ වගේම ලබපු අස්වැන්න රෝගී වුණා. දිගින් දිග­ටම පැවති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය නිසා පසු­ගිය කාලය පුරා ගොවීන්ට තම වගා කට­යු­තු­වල නිර­ත­වී­මට හැකි­යා­වක් ලැබුණේ නැහැ. සම­හර පළා­ත්වල කන්න තුන හත­රක්ම වගා පාළු­වට ගියා.

භෝග වගාව ආර­ක්ෂිත ගෘහ තුළ කරන්න බැරිද? මෙයට පිළි­තුරු දෙමින් සහ­කාර කෘෂි­කර්ම අධ්‍යක්ෂ සනත් එම්.බණ්ඩාර මහතා පව­සන්නේ,

ලෝකේ දියුණු රට­වල මේ ක්‍රමය සිදු වෙනවා. ඉතාම සීතල ප්‍රදේ­ශ­වල ආර­ක්ෂිත ගෘහ තුළ තාපන යන්ත්‍ර යොදා එළ­වළු වවන අන්දම දකි­න්නට පුළු­වන්. අරා­බියේ ආර­ක්ෂිත ගෘහ තුළට සීතල ලබාදී එළ­වළු වගා කර­නවා. අරා­බි­යට එය කරන්න පුළු­වන්. ඔවුන්ට තෙල් තියෙ­නවා. බල­ශ­ක්තිය තිබෙ­නවා‍‍. යු‍රෝපීය ධන­වත් රට­ව­ල­ටත් එය කර­න්නට පුළු­වන්. ආර­ක්ෂිත ගෘහ පොලි­තින් වැස්මක් යොදලා හදා­ග­ත්තත් අප වැනි රට­කට තිබෙන ප්‍රශ්නය මේකෙන් එන නිෂ්පා­ද­නය මිල වැඩි වීමයි.

ලංකාවේ දැන­ටත් ආර­ක්ෂිත ගෘහ­වල වගාව සිදු වන බවත් උදා­හ­ර­ණ­යක් ලෙස බෙල් පෙපර් භෝගය එසේ වගා කරන බවත් ඔහු පව­සයි.

‘බෙල් පෙපර් එළියේ නෙමෙයි හදන්නේ. සංවේදී භෝග­යක් ලෙස ඒවා මේ ගෘහ­යන් තුළ තමයි සැක­සෙන්නේ. ඒවා මිලෙන් අධි­කයි. තක්කාලි වර්ග­යක් තිබෙ­නවා එළියෙ හදන්න බැහැ. වැස්ස වැටුණු ගමන් කුණු වෙනවා. ඒවාට පරි­ස්ස­මින් වතුර දාලා පෝර දාලා හදන්න ඕනෑ. මේ ආර­ක්ෂිත ගෘහ ඇතුළේ නිෂ්පා­ද­නය වන එළ­වළු අනි­වා­ර්ය­යෙන්ම මිල ඉහ­ළයි. ඒ නිසා කාල­ගුණ විප­ර්යා­ස­යට විස­ඳුම ආර­ක්ෂිත ගෘහ නොවේ.

*භෝග පුරෝ­ක­ථ­නය අති­ශය වැද­ගත්

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩ­ස­ට­හ­නක් තිබෙ­නවා භෝග පුරෝ­ක­ථ­නය කියලා. එයින් සිදු කරන්නේ අදාළ කාල­යට ප්‍රදේ­ශ­යට අනුව කුමන භෝගය වැවිය යුතු ද කියලා ගොවියා දැනු­වත් කිරීම. මිල අඩු වැඩි වීම මත වවන්න සුදුසු, මිලක් ගත හැකි භෝගය කුමක්ද කියා ගොවියා දැනු­වත් කර­නවා. අපි එය කරන්නේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව වටා ඇති ගොවි­යන්ගේ ජාලය ඔස්සේ ලැබෙන තොර­තුරු අනුව. ඒවා පරි­ග­ණ­ක­ගත කරලා විශ්ලේ­ෂ­ණය කරලා සති­පතා ගොවි­යන් දැනු­ම්වත් කර­නවා. මේ ක්‍රම­යට අපට පුළු­වන් භෝග­වල මිල අඩු වැඩි වීම යම් ප්‍රමා­ණ­ය­කට සම­තු­ලිත කරන්න. ගොවියො එයට අනු­ගත වෙනවා නම් මෙයට විස­ඳුම් ලැබෙ­නවා.

ඒත් අද වෙලා තිබෙන්නේ වෙළෙඳ පොළේ භෝග­යක මිල වැඩි නම් හැමෝම ඒ භෝගය සිටු­ව­නවා. මාස තුන­කින් මුළු රටේම අදා­ළ‍ ­භෝ­ගය අති­රි­ක්ත­යක් වෙලා. එත­කොට කිලෝ එක අඩුම මිල­ක­ට‍ ­බ­හි­නවා. තමන්ගේ නිෂ්පා­ද­න­ව­ලට මිලක් නැහැ කිය­මින් ගොවියෝ කෑ ගහ­නවා.

ලාබ කාල­යට එක ගොවි­යෙ­කු­වත් ඒ භෝගය හදන්නේ නෑ. මාස තුන­කින් මොකද වෙන්නේ‍. රටේ ඒ භෝගය නැහැ. හදි­සි­යේ­වත් ඒ භෝගය හදපු ගොවි­යාගේ ආදා­යම වැඩි වෙනවා. එත­කොට පාරි­භෝ­ගි­ක­යන් ඒ භෝගයේ මිල වැඩියි කියලා කෑග­හ­නවා. ඒ නිසා අපේ ප්‍රාදේ­ශීය මධ්‍ය­ස්ථා­න­ව­ලට වගේම වෙබ් අඩ­වි­යට ගිහින් ගොවි­යාට භෝග පු‍රෝක­ථ­නය නිවැ­රැ­දිව ලබා­ගෙන හරි භෝගය වගා කරන්න පුළු­වන්. එ් නිසා ආර­ක්ෂිත ගෘහ හදලා එළ­වළු පාල­නය සම­බර කිරීම නොවෙයි කළ යුත්තේ. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව විසින් භෝග පුරෝ­ක­ථ­නය කර­මින් දෙන පණි­වු­ඩ­ව­ලට කීකරු වෙලා එළ­වළු වගා කිරී­මයි වැද­ගත්. වස­රක කාල­යක සිට මේ පණි­වු­ඩය ගොවි­යන්ට අපි ලබා­දෙ­නවා. සෑහෙන ගොවි­යන් පිරි­සක් ඒ අනුව වගා කට­යුතු කර­නවා.

*භෝග පුරෝ­ක­ථ­නය සඳහා කාල­ගු­ණ­යත් යොදා­ගත හැකිද? බණ්ඩාර මහතා පව­සන අන්ද­මට, කාල­ගු­ණය අනුව භෝග පු‍රෝක­ථ­නය පිළි­බඳ පැව­සීම දුෂ්ක­රය.

“මිනිසා විසින්ම ඇති කර­ගත් විනා­ශය නිසා පරි­ස­රය අකා­රු­ණික ලෙස හැසි­රෙ­නවා. අපි මොන පුරෝ­ක­ථ­නය කළත් මොනවා වව­න්නට කිව්වත් එයට කාල­ගු­ණය පට­ල­වා­ගන්න බැහැ. අපි උප­ක­ල්ප­නය කර­නවා යල - මහ පිළි­වෙ­ළට වැස්ස ලැබෙයි කියලා. එහෙම හිතලා තමයි පුරෝ­ක­ථ­නය දෙන්නේ. වී ගොවි­යාට වෙනම කාල­ගුණ අනා­වැ­කි­යක් කෘෂි­කර්ම ‍දෙපාර්ත­මේ­න්තු­වෙන් නිකුත් කර­නවා. “වැව්වල වතුර මේ තරම් තිබෙ­නවා. මේ කාල­යේදී බිම් සකස් කරන්න, වපු­රන්න, අස්වැන්න නෙළන්න යනාදී වශ­යෙන්. එය එළ­වළු ගොවි­යාට අදාළ වන්නේ නැහැ. කාල­ගු­ණය අකී­කරු විදි­හට හැසි­රු­ණොත් එය ලංකා­වට පම­ණක් නොවෙයි අනෙ­කුත් රට­ව­ල­ටත් බල­පා­නවා. වගා කන්න බෙදා­ගෙන තිබෙන්නේ විශේ­ෂ­යෙන් යල - මහ කන්න වගාව ලෙසයි. එය යොදා­ගෙන තිබෙන්නේ මෝසම් වැසි අනු­වයි. නිරි­ත­දිග මෝසම් සහ ඊසාන දිග මෝසම් වැසි කියලා වර්ෂාව අපිට ලැබෙ­නවා. ඊට අම­ත­රව අන්ත­ර්මෝ­සම් වැසි තිබෙ­නවා. එත­කොට ඊසාන වැස්ස පට­න්ගන්නේ ඔක්තෝ­බර් මාසයේ. නැඟෙ­න­හිර පැත්තෙන් එන්නේ. මේ දින­වල මඩ­ක­ල­පුව , වවු­නි­යාව, යාප­නය ප්‍රදේ­ශ­ව­ලට වැටෙන්නේ ඊසාන දිග පැත්තෙන් හමන සුළං නිසා ඇති වන ඊසාන දිග වැස්ස. ඒකෙ කොටස් තමයි මධ්‍යම පළා­ත­ටත්, කොළඹ පැත්ත­ටත් විටින් විට එන්නේ. මේ තමයි මහ කන්නය.

යල කන්නය මෙහි අනෙක් පැත්ත. නිරිත දිග පැත්තෙන් තමයි හුළං හමන්නේ. ඒ සුළ­ඟින් එන වර්ෂාව මහ­නු­වර, කඩු­ග­න්නාව පැත්තෙ කඳු­වල හැප්පිලා නව­ති­නවා. එය තමයි යල කන්නය. එය පටන් ගන්නේ අප්‍රේල් මාසයේ. ඒ කන්න වෙනස් කරන්න බැහැ. එය ගෝලීය චක්‍ර­යක්.“

ගොවි­තැ­නට තාක්ෂ­ණය අව­ශ්‍ය­මය. අද ලංකාවේ සහල් කර්මා­න්තය වඩා දියුණු වී තිබේ. ඒ සහල් කර්මා­න්ත­යට උප­රිම තාක්ෂ­ණ­යක් යොදා­ගෙන තිබෙන බැවිනි. මේ තාක්ෂ­ණය එළ­වළු ගොවි­ය­ටත් ලැබිය යුතුයි. මෙවැනි තාක්ෂ­ණික නවාංග ගොවි­තැ­නට එක් කර­ගත යුතුයි. ඒ පිළි­බඳ අද­හස් දක්ව­මින් මහා­චාර්ය බුද්ධි මාරඹේ මහතා පව­සන්නේ දේශ­ගු­ණ­යට ඔරොත්තු දෙන, වැඩි අස්වැ­න්නක් සහිත නව බීජ නිෂ්පා­ද­නය එළ­වළු වගා­ව­ටත් අත්‍ය­වශ්‍ය බවයි.

More News »