0 Views  
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ පැවැත්ම හා අනාගතය

ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් රබර් වගා කරන රටවලද රබර් කර්මාන්තයේ පැවැත්ම හා බැඳී පවතින කරුණු අතරින් වඩාත්ම වැදගත් වන කරුණ බවට පත්වී ඇත්තේ රබර් මිලයි. එහෙත් රබර් මිල පිළිබඳ අධ්‍යයනය කිරීමේදී රබර් මිල ඉහළ යන බව නිරීක්ෂණය කළ හැකිය.. එහෙත් වසර 50කට පෙර රබර් කිලෝවක මිල මෙන් සිය ගුණයක පමණ මිලක් රබර් කිලෝවක් සඳහා අද ලැබේ. එහෙත්, එය වැඩි වන්නේ චක්‍රාකරවයි. එනම්, වසර කිහිපයක් එක දිගට වැඩි වී, ඊළඟ වසර කිහිපයේදී පහළ බසී.එහෙත් නිෂ්පාදන වියදම පිළිබඳව විමසා බැලීමේදී ඒ සඳහා දායකවන ප්‍රධාන සංඝටක වන කම්කරු වේතන, විදුලිය හා ඉන්ධන අනෙකුත් සැපයුම් ආදී සියලු දේ අඩු වැඩි වශයෙන් නිරතුරුව ඉහළ යන ප්‍රවණතාවක් පවතී. රබර් මිලෙහි පවතින උච්චාවචනය සමහර කාල වකවානුවල රබර් වගාකරුවන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක් බවටද පත්වී ඇත. නිෂ්පාදන වියදම ඉහළ යෑමට සමගාමීව රබර් මිල ඉහළ නැගීමක් දක්නට නොලැබේ. එබැවින් සමහර අවස්ථාවල නිෂ්පාදන වියදම රබර් මිල අභිබවා යාමක්ද සිදුවේ. මේ තත්ත්වය රබර් වගාවට අයහපත් තත්ත්වයකි. රබර් මිල උච්චාවචනය වුවද රබර් නිෂ්පාදන වියදම ඉහළ යාම රබර් වගාකරුවන්ට අභියෝගයකි.

රබර් නිෂ්පාදනය

ලෝක රබර් නිෂ්පාදනයට බලපෑමක් කිරීමට ශ්‍රී ලාංකික රබර් නිෂ්පාදනයට කිසිසේත්ම නොහැකිය. එයට හේතුව ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන රබර් ප්‍රමාණය සීයයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් වීමයි. රබර් නිෂ්පාදනයේ දැවැන්තයන් වන තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය අසල්වැසි ඉන්දියාව වැනි රටවල්ද මේ වෙනස් වන රබර් මිල හමුවේ සාර්ථක විසඳුම් ගෙන නොමැත.

තවද මෙහි ඇති සුවිශේෂී කරුණක් නම් රබර් මිල පිළිබඳ පුරෝකථනයන් සාර්ථක වන අවස්ථාවන්ට වඩා වෙනස් වන වාර ගණන වැඩි වීමයි. එයට ප්‍රධාන හේතුව වන්නේ රබර් මිල කෙරෙහි බලපාන සාධක අති විශාල ප්‍රමාණයක් තිබීමය. ඒවා ඉතා සංකීර්ණය. එමෙන්ම ඒවා අතර අන්තර් සබඳතා තිබිය හැකිය.කෙසේවුවද, මෙලෙස මිල උච්චාවචනයන්ට ලක්වී ඇති තවත් බොහෝ නිෂ්පාදන ඇත.අවශ්‍යව ඇත්තේ මේ තත්ත්වය පැහැදිලිව වටහාගෙන එම තත්ත්වය යටතේ පැවැතිය හැකි ලෙස තම කර්මාන්තය කළමනාකරණය කිරීමයි.

රබර් කර්මාන්තය මෙතෙක් මෙවැනි යාන්ත්‍රණයක් කරා යාමට අපොහොසත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇති නිෂ්පාදන ඵලදායිතාව පහළ මට්ටමක පැවැතීමයි. එයට හේතු කීපයකි. එනම් හෙක්ටයාරයක් සඳහා නියමිත ගස් ප්‍රමාණයක් නොමැතිවීම, පවතින ගස්වල වර්ධනය බාල වීම සහ ඵලදාව අඩුවීම. වගාවන් මෙවැනි තත්ත්වයන්ට පත්වෙන්නේ හේතු කීපයක් නිසාය. එනම් ඇතැම්විට පැළ මිය ගිය පසු ඒ වෙනුවට පැළ සිටුවීමට නොහැකි වේ.එමෙන්ම පොහොර යෙදීම හා නිසි කලට සිදු නොවීම. වල් නෙළීමට නොහැකිවීම.මෙයට ප්‍රධාන හේතු ලෙස දැකිය හැකිය.

ප්‍රයෝගිකව රබර් මිල ජයගැනීමට

ඵලදායීතාව ඉතා ඉහළ මට්ටමක පවනත්වාගෙන යනු ලබන රබර් ඉඩම් අපගේ නිරීක්ෂණයට ලක්වී ඇත. වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 2500-3000 පවතින මෙවැනි ඉඩම්,ගණනින් අඩු වීමත්, වැඩි ඉඩම් ප්‍රමාණයක් ඉතා අඩු ඵලදායීතාවක් සහිතව පැවැතීමත් නිසා මුළු රටේ පවතින හෙක්ටයාර 132,000 පමණ වූ රබර් වගාව සමස්තයක් ලෙස සලකා ගණනය කිරීමේදී ඵලදායීතාවයේ සාමාන්‍ය අගය ඉතා පහළ තත්ත්වයකට පත්වීමයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ බිම් ප්‍රමාණය අක්කර 1 ¼ වී උදාහරණයකි. දළ බෑවුම් සහිත ඉඩමකි. ඉඩම සහ වගාව සමස්තයක් ලෙස හොඳින් නඩත්තු කර ඇත.ගස්වල වර්ධනය සතුටුදායක මට්ටමක ඇත. 1994 වසරේ ස්ථාපනය කර ඇති මේ වගාවේ RRIC 100 වර්ගයේ පැළ සිටුවා ඇත. RRIC 121 වර්ගයේ පැළද 10%ක් පමණ පවතී.

කිරි කැපීම ආරම්භ කර ඇත්තේ වසර 2001 ජනවාරි වන අතර ගසින් වට භාගයක් දිනක් හැර දිනක් එනම් 1/2 Sd2 ක්‍රමයට මේ වනතුරුම කිරි කැපීම සිදු කරයි. A පැනලය අඟල් 50ක් උසින් ආරම්භ කර ඇති අතර (නිර්දේශය අඟල් 48කි) B පැනලය හෙවත් විරුද්ධ පැනලය අඟල් 60ක් උසින් ආරම්භ කර ඇත. මෙයද නිර්දේශයට පටහැනි වන අතර A පැනලය ආරම්භ කළ උසින්ම B පැනලයද කිරි කැපීම ආරම්භ කළ යුතුය. එසේ නොවුණ හොත් සිදුවන්නේ පහළ පැනල කපා අවසන් කොට ඉහළ පැනල කැපීමට ආරම්භ කරන විට වෙන්වී පවතින කොටසෙහි ඵලදාව ඉතා අඩුවීමයි. කෙසේවුවද, මේ වගාව දැනට වසර 15ක් කිරි කපා ඇත.

මේ වගාවේ බිම් ප්‍රමාණය සඳහා නිර්දේශිත ගස් ගණනින් 82%ක් කිරි කැපෙන අතර බද්ධ සන්ධියට සෙ.මී.150ක් උසින් ගසේ වට ප්‍රමාණයද සියලු ගස් සඳහා සාමාන්‍ය අගය සෙ.මී.73.3කි.දැනට වැයවී ඇති පට්ටයේ ප්‍රමාණය ගැන සලකා බලන විට එක් වසරකට දින 130 ක් පමණක් කිරි කපා ඇති බව තහවුරු වේ. දිනක් හැර දිනක් කිරි කැපීමේදී දින 182 දක්වා කිරි කැපිය හැකි වුවද ප්‍රයෝගිකව එය සිදු නොවේ. මෙහි ඉතාම වැදගත් පණිවුඩය නම් මේ වගාවේ එක් ගසකින් එක් කිරි කැපුම් වාරයකදී වියළි රබර් ග්රෑම් 89.02ක සාමාන්‍යය අගයක් පවත්වා ගන්නා බවයි. එනම්, එක් දිනකට මේ වගාවේfකිරි කැපෙන ගස් 205හි රබර් කිලෝ ග්රෑ්ම් 18.3 ක් ලැබෙන අතර මේ ප්‍රමාණය හෙක්ටයාරයකට ගණනය කර බැලීමේදී වසරකට කිලෝ ග්රෑම් 4500ක් බව පෙනේ.

රබර් වගාවේ ඵලදායීතාව

දැනට ශ්‍රී ලංකාවේ රබර් ඵලදායීතාවය වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 850 වැනි ඉතා පහත් අගයකි. අනෙකුත් රබර් වගා කරන රටවල් හා සසඳන කළ 2015 වසරේ ඵලදායීතාව වැඩිම අගයක් පෙන්වන්නේ වියට්නාමය වන අතර එය වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 1738කි.

ඉන්දියාවේ මේ අගය වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 1525කි.රබර් කිලෝවකට රු.300ක මිලක් ලැබෙන අවස්ථාවලදීද යම්කිසි ලාභයක් ලබන රබර් වගාවක ඵලදායීතාවය දෙගුණ කළහොත් ලැබෙන අමතර ඵලදාව සම්පූර්ණ වශයෙන්ම අතිරේක ලාභයක්ම වේ. ඉහත සඳහන් කළ ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 1/3 ක පමණ වපසරියක් වගාකොට ඇති RRIC 100 ක්ලෝනය වගාකර ඇති බවත් වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 4000කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බවත් පැහැදිලි වේ.රබර් ඉඩමක විශාලත්වය සහ ඵලදායීතාව රබර් ඉඩමක කුඩාවන තරමට පහසුවෙන් සහ හොඳින් නඩත්තු කළ හැකිය. එහෙත්,සෑම කුඩා ඉඩමක්ම මෙවැනි ඉතා හොඳ තත්ත්වයක නැත. එමෙන්ම, සමහර විශාල වතුයාය වල ඵලදායීතාව වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 2500 – 3000 වන වගාවන් තිබේ. රබර් වගාවක් ස්ථාපනය කිරීමේදී වැදගත් වන්නේ, වගාකළ යුතු ඉඩමේ ප්‍රමාණය නොව ඵලදායීතාව රැකෙන පරිදි වගාකළ හැකි ඉඩම් ප්‍රමාණය වගා කළ යුතු බවයි.එනම්, හෙක්ටයාර 4ක් වසරකට හෙක්ටයාරකට කිලෝ ග්රෑම් 950 - 1000ක් ලැබෙන පරිදි වගා කර තිබෙනවාට වඩා හොඳින් නඩත්තු කළ හෙක්ටයාරයක් වඩා ලාභදායී බවට ඔබද එකඟවනවා ඇත.මේ අනුව දැනට රබර් ගොවීන් හමුවේ ඇති එකම අභියෝගය තමා සතු ඉඩම ඉතා හොඳින් නඩත්තු කර ඵලදායීතාව උපරිම වන ලෙසට පවත්වා ගැනීමෙන් රබර් මිල මත රඳා නොපවතින රබර් වගාවක් ඇති කර ගැනීමය. රබර් වගාකරුවන් මුහුණදෙන බොහෝ ගැටලු ඉබේම විසඳෙන බවත් සඳහන් කළ යුතුය.

රබර් වගාවේ අනාගතය

අවම වශයෙන් දැනට පවතින ඵලදායීතාව දෙගුණ කර නොගතහොත් රබර් වගාවේ ඉදිරි අනාගතය ගැටලු සහගත වීම වැළැක්විය නොහැකිය. අඩුම තරමින් දැනට රබර් සිටුවා පළමු හා දෙවන වසරවල පවතින වගාවන්වල පැවැතිය යුතු නිර්දේශිත ගස් ගණන පවත්වා ගැනීමට සියලු පියවර ගත යුතු අතර පොහොර දැමීම, වල් නෙලීම,මෙන්ම පාංශු සංරක්ෂණ කටයුතුද උපරිමව නිර්දේශවලට අනුකූලව සිදුකළහොත්,හොඳ ඵලදායීතාවක් බලාපොරොත්තු විය හැකිය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o